ඊළඟ අදියර සඳහා ශක්තිමත් පදනමක් සකස් කරමින් BPPL වේගවත් වර්ධනීය ගමනක

අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයා මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන BPPL හෝල්ඩින්ග්ස් 2020-21 මූල්‍ය වර්ෂය තුළ සියලූම මූල්‍ය දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ ඊළඟ අදියර සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ඇතැයි පවසයි.

ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන BPPL හි පූර්ණ අනුබද්ධිත සමාගම් විසින් ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කළ අතර අපනයන ඉපැයීම් උත්පාදනය කරන මෙරට ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන තිරසාර ව්‍යාපාරික ප‍්‍රමුඛයෙකු ලෙස සමූහය ක‍්‍රියා කරයි.

ඉකෝ ස්පින්ඞ්ල්ස් (ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතා කරමින් පොලියෙස්ටර් නූල් හා මෙනොෆිලමන්ට්ස් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ ආයතනයක්) සහ Beira Brush සමාගම (කර්මාන්තශාලා හා ගෘහස්ත අවශ්‍යතාවන් සඳහා වන පිරිසිදු කිරීමේ උපකරණ නිෂ්පාදනය හා අපනයනය කරනු ලබන අග්නිදිග ආසියාවේ ප‍්‍රමුඛයෙක්) යනු එහි පූර්ණ අනුබද්ධිත සමාගම් දෙකකි.

වසංගතය නිසා ඇති වූ අභියෝග ජය ගනිමින් 2021 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ 2020-21 මූල්‍ය වර්ෂයේදී BPPL හි ඒකාබද්ධ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 31%කින් වර්ධනය වී රුපියල් බිලියන 3.4 ක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමූහයේ බදු පසු ලාභය (PAT) සහ කොටස්හිමියන්ට ලැබිය යුතු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 23%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 497 ක් බවට පත් වී ඇත.

මෙම මූල්‍ය වර්ෂය තුළදී සිය ව්‍යාපාරික කටයුතු වර්ධනය කිරීමට අවශ්‍ය ප‍්‍රධාන මූලධර්මයන් තව තවත් වැඩිදියුණු කරමින් සමූහයේ ඊළඟ අදියරේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අදහස පෙරදැරිව ප‍්‍රධාන උපායමාර්ගික මුලපිරීම් මාලාවක් ද BPPL විසින් ආරම්භ කරන ලදී. මෙයට නූල් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා තවත් කර්මාන්තශාලාවක් පිහිටු වීම සහ තවදුරටත් සිය නිෂ්පාදනවල හා වෙළෙඳපොළ විවිධත්වය ජාත්‍යන්තරය තුළ ඉහළ නැංවීම ආදිය ඇතුලත් විය. මෙහි දෙවැනි කාරණයේ ප‍්‍රතිඵලයක් ලෙස BPPL සිය ප‍්‍රධාන අපනයන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදයට සිදු කරනු ලබන අපනයන අඩු කරමින් සිටින නමුත් සිය සමස්ත අපනයනයන් අනෙකුත් රටවල පුළුල් කරමින් සිටී.

මේ පිළිබඳව අදහස් දක්වන BPPL Holdings කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය අනූෂ් අමරසිංහ මහතා ‘‘වසංගතය විසින් ඇති කරන ලද සැලකිය යුතු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් සියලූම ප‍්‍රධාන මුල්‍ය දර්ශකවල කැපී පෙනන වර්ධනයක් ලබා ගැනීමට මෙන්ම සමූහයේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ ඊළඟ අදියර සඳහා අඩිතාලම සකස් කිරීමට ද අපට හැකි වුනා. අති නවීන තාක්ෂණය සඳහා දැනට පවතින ආයෝජන සහ ඉදිරියේදී ලැබීමට නියමිත ඇණවුම් යන මෙම වර්ධනයන් නිසා BPPL හට දිගුකාලීන අනාගත වර්ධනයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

BPPL සහ එහි අනුබද්ධිත සමාගම් මෙම මූල්‍ය වර්ෂය තුළ ජයග‍්‍රහණ කිහිපයක් වාර්තා කිරීමට සමත් වූ එමඟින් සිය තිරසාර ව්‍යාපාරික වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරමින් සමූහයේ කීර්තිනාමය ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ.

BPPL හි අනුබද්ධ සමාගමක් වන ඉකෝ ස්පින්ඞ්ල්ස් කසළ කළමනාකරණය හා ප‍්‍රතිචක‍්‍රීකරණය උදෙසා දක්වන ලද දායකත්වය අගයමින් එම සමාගමට ප‍්‍රමුඛ පෙළේ සම්මාන දෙකක් හිමි විය. 2021 අපේ‍්‍රල් මාසයේදී ඉකෝ ස්පින්ඞ්ල්ස් “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම එළිදැක්වු අතර එමගින් නිසියාකාරව කසළ බැහැර කිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකුට දිවයින පුරා ඇති කසළ බඳුන්වලට පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි.

Visits: 348