NLDB කිරි ගොවිපොළක අක්කර 250ක් Pizza Hut වෙත පවරාදීමට අනුමැතිය

මෙරට තුළ Pizza Hut අලෙවිසැල් ජාලයේ වරලත් අලෙවි නියෝජිතයා වන Gamma Pizzakraft Lanka (Pvt) Ltd සමාගම වෙත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් කොට්ටුකච්චිය ගොවිපොළෙන් අක්කර 250ක් වෙන් කරදීමට අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසයි.

රට තුළ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් යටතේ මෙම ඉඩම් වෙන් කරදීම සිදුව තිබෙන බව පැවසෙයි.

ඒ අනුව මෙලෙස මහා පරිමාණ වාණිජ කිරිගොවිපොළ පිහිටුවීම සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීම පිණිස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාවක් යටතේ මෙලෙස කිරි නිෂ්පාදනය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමක් සිදු කර තිබේ.

එහිදී එම මණ්ඩලයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ ආයෝජකයන් වෙත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් හා වෙනත් රජයට අයත් භාවිතයට නොගන්නා ඉඩම් මෙලෙස ලබා දීම සිදුව ඇත.

ඒ අනුව මෙම යෝජනා ඉදිරිපත් කළ ආයෝජකයින් අතර Gamma Pizzakraft Lanka (Pvt) Ltd සමාගමද සිටියි. ඒ අනුව මෙහිදී එම ඉඩම් නවීන කිරි ගොවිපොළවල් ලෙස සංවර්ධනය කිරීම සඳහා වසර 30 කාලයක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම මෙහිදී සිදුව තිබෙන බවත් රජය පවසයි.

Gamma Pizzakraft Lanka (Pvt) Ltd සමාගම අද වනවිට Pizza Hut අලෙවි සැල් ජාලයේ මෙන්ම Taco bell ආපනශාලා ජාලයේද මෙරට වරලත් අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කරයි.

Visits: 330