මෙතෙක් වැඩිම ගණුදෙනු සංඛ්‍යාව සහ වසර තුළ දෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා වෙයි

අද (අගෝස්තු 27) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වුණු ගනුදෙනු අතරදී එතෙක් මෙතෙක් වාර්තා කළ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව මෙන්ම මේ වසර තුළ දෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව අද දිනයේදී ගනුදෙනු 79,581ක් සිදුව ඇති අතර රුපියල් බිලියන 16.5ක පිරිවැටුමක් සටහන්ව තිබේ.

මෙහිදී ආයෝජකයන් EXPO සමාගමේ සිට LOLC සමූහයේ සමාගම් වෙත යොමුවීමක් අද දිනයේදී පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම ගෙවුණු සති හයක කාලයේදී EXPO සමාගමේ කොටස් තුළ ඉහළ ගැණුම්බරතාවක් දැකගත හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේදී එහි කොටසක අගය රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අඩු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු සඳහා ඉදිරිපත් කර තිබෙන සමාගම් වෙත පැවැති ආයෝජන ආකර්ෂණයේ අඩුවීමත් සමගින්ම දර්ශක අගයන් ඉහළ පහළ යාමක් සිදුව තිබේ. කෙසේ වෙතත් වටිනා සමාගම් සහ බැංකු වෙත පැවැති ආයෝජන ආකර්ෂණය අද දිනයේදී තවදුරටත් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් දිනෙන් දින වාර්තා වන COVID-19 මරණවල ඉහළ යාම, ලොක්ඩවුන් සීමා දිගු වීම සහ රටෙහි විදේශ මුදල් සංචිතවල අඩුවීම යනාදිය ඉදිරි කාලසීමාවේදී රටෙහි ආර්ථිකය වෙතබලපෑම් එල්ල කිරීම පිළිබඳව ආයෝජක අවධානය යොමුව තිබෙන බවද මෙම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,874.69ත් ඒකක 9,079.74ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,931.33ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 26) දිනයට සාපේක්ෂව ඒකක 10.62ක් එනම් +0.12%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, හේලීස් පීඑල්සී, ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, සණස සංවර්ධන බැංකුව, කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි සහ හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද) යන සමාගම්වල සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 3.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 67ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 131ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+68), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+51.7), හේලීස් පීඑල්සී HAYL (+13.5), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+11.0), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+9.1), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-73.0), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (-6.8), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-6.7), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-6.5), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.1යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,345.25ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 26දා) ‍ට සාපේක්ෂව ඒකක 18.17ක එනම් +0.55%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 16.49ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 25දා) වාර්තා කළ රුපියල් බිලියන 10.5ට සාපේක්ෂව 57% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.98ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 34.43%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 129.75ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 117.36ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.39කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.83ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 28.35 කි. එසේම ඩයලොග් ආසිආටා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 15.58ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 5,065 සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 31%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 3,108ක සහ රුපියල් මිලියන 2,907ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 389