JAT හෝල්ඩිංග්ස් මූලික කොටස් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2.2ක් ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා සුදානමින් සිටින JAT හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම ඒ යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති සිය මූලික කොටස් නිකුතුවේදී සමාගමේ කොටස් අතරින් 16.24% ක ප්‍රතිශතයක් මහජනතාව සඳහා නිකුත් කරන බව පවසයි.

එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 82.9ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, එක් කොටසක් රුපියල් 27ක් බැගින් මිල කෙරෙන බවත් පැවසෙයි. ඒ අනුව මෙම සැලසුම් කර ඇති මූලික නිකුතුව හරහා සමාගම රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 2.2ක් බව JAT හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ නිර්මාතෘ සහ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂ ඒලියන් ගුණවර්ධන මහතා පවසයි.

පසුගියදා ඩේලිමිරර් පුවත්පතේ ව්‍යාපාරික පිටුව වෙත අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මේ පිළිබඳව අනාවරණය කර තිබේ. දැනටමත් මේ සම්බන්ධයෙන් වන ඉල්ලුම්පත්‍රය කොළඹ කොටස් හුවමාරුව වෙත භාරදී ඇතිබවත්, ඒ සඳහා වන අනුමැතිය බලාපොරොත්තුව සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

“මෙම අනුමැතිය හිමිවීමෙන් අනතුරුව අදාළ මූලික නිකුතුව පිළිබඳ නිවේදනය වෙළෙඳ පොළ තත්ත්වය අනුව තීරණය වේවි. ඒ අනුව ඊට අදාළ දිනය මෙම අනුමැතියේ සිට මාස හයක කාලයත් ඇතුළතදී තීරණය කරනවා.” ගුණවර්ධන මහතා එලෙස පවසා ඇත.

කෙසේ වෙතත් මීට පෙර ‘ද මෝර්නිං’ පුවත්පත වෙත අදහස් දක්වා සිටි ගුණවර්ධන මහතා මෙම නිකුතුව ජූනි මාසය අගදි සිදු කිරීම සැලසුම වී ඇතැයි පවසා තිබුණි.

JAT හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික නිකුතුවේ මූල්‍ය උපදේශකවරයා ලෙස CAL සමාගම පත් කෙරී ඇති අතර එහි කළමනාකාර සමාගම ලෙස NDB Investment Bank පත් කෙරී තිබේ.

1993 වසරේදි සමාගමක් ලෙස පිහිටුවා ඇති සීමාසහිත JAT හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම අද වනවිට මෙරට තීන්ත ආලේපන වෙළෙඳ පොළ තුළ ඉහළ නමක් දිනා ගෙන තිබේ. එසේම තවත් ජාත්‍යන්තර සන්නාම රැසකම ගෘහභාණ්ඩ මෙරටට ගෙන්වා බෙදාහැරීමේ නියෝජිතයා ලෙසද එම සමාගම කටයුතු කරයි.

මෙරට ක්‍රියාත්මක පවුල් ව්‍යාපාර සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභෘව සිදුකළ ප්‍රසිද්ධ ආරාධනාවට අනුව සමාගම මෙලෙස ලැයිස්තුගතවීමට උනන්දුව දක්වා සිටියි.

විශේෂයෙන්ම 2021 වසර තුළදී කොළඹ කොටස් හුවමාරුවෙහි මූලික නිකුතු සිදු කර ලැයිස්තුගත වන සමාගම් වෙත ඉදිරි වසර තුනක කාලයක් සඳහා බදු සහන ලබා දීමට රජය පසුගිය අයවැය මගින්ද තීරණය කර තිබීම මෙම උනන්දුව ඉහළ යාමට හේතුව වී ඇත.

2018/2019 මූල්‍ය වර්ෂයේදී JAT හෝල්ඩිංග්ස් සමාගම රුපියල් බිලියන 6.54ක ආදායමක් රැස් කරගෙන තිබූ අතර එහිදී රුපියල් මිලියන 880.97ක ලාභයක් සටහන්ව ඇත. ඒ අනුව මෙය පෙර වසරට සාපේක්ෂව පිළිවෙලින් 39%ක සහ 20%ක වර්ධනයකි. එහිදී අපනයන ආදායම් සමාගමේ සමස්ත ආදායමෙන් 25%කට දායක වී ඇත. මූලිකවම බංග්ලාදේශය වැඩිම ආදායම් උත්පාදනය කරන රට බවටපත්ව ඇත. එසේම මාලදිවයින තුලත් සමාගම වැඩි වෙළෙඳ පොළ කොටසක් හිමි කරගනිමින් සිටියි.

අද වනවිට සමාගමේ දැව මතුපිට ආලේපන නිෂ්පාදනයක් වන Sayerlack ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය සහ තවත් අප්‍රිකානු රටවල් කිහිපයකදීත් ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇතැයිද පවසයි.

මෙලෙස ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ පවතින වර්ධනයත් සමගින්ම 2021/22 මූලවර්ෂයේදී සහ 2022/23 යන මූල්‍ය වර්ෂවලදී පිළිවෙලින් බංග්ලාදේශය තුළ සහ අප්‍රිකාව තුළ සිය නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍ර ඉදිකිරීම සම්බන්ධයෙන්ද JAT හෝල්ඩිංග්ස් සැලසුම් කර තිබේ.

අද වනවිට JAT හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 71.37%ක් ඒලියන් ගුණවර්ධන මහතා වෙත ඍජුවම අයිතිව ඇත. එසේම J Chem Coating පෞද්ගලික සමාගම වෙත 8.76%ක ප්‍රතිශතයක්ද අක්බාර් බ්‍රදර්ස් සමාගම යටතේ ක්‍රියාත්මක Falcon Trading පෞද්ගලික සමාගම වෙත 5.92% ක කොටස් ප්‍රතිශතයක්ද හිමිව තිබේ.

මීට අමතරව NDB Zephyr Partners Limited මගින් කළමනාකරණය කරන Emerald Fund 1 Limited නම් අරමුදලක් සතුව තවත් 5.92%ක කොටස් හිමිකමක් සතුව ඇතැයිද ඩේලිමිරර් පුවත්පත සිය වාර්තාවේ සඳහන් කර සිටියි.

Visits: 1174