දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ADB වෙතින් තවත් ඩො.මි. 200ක ආධාර

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව තවත් ඩොලර් මිලියන 200ක ණය ආධාරයක් සිදු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ ණය ගිවිසුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකු, ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා අතර ඊයේ (මැයි 28දා) අත්සන් තබා තිබේ.

පළමුවරට 2017 අගෝස්තු 14 වන දින ක්‍රියාරාමු ක්‍රම මූල්‍යකරණ ගිවිසුමට එළැඹුණු මෙම ගිවිසුම යටතේ මෙම ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන මූල්‍යකරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇත. බදු අදියර මූල්‍යයන පහසුකම යටතේ මෙම ණය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට මෙම ආයෝජන වැඩසටහන ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ජාලයට ප්‍රවේශවීමට හැකියාව වැඩිදියුණු කර, එමගින් ග්‍රාමීය ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායවීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින්නකි.

එහිදී නැගෙනහිර, උතුරු, ඌව සහ බස්නාහිර පළාත්වල ග්‍රාමීය පිවිසුම් මාර්ග කිලෝමීටර් 3‍,400ක් පමණ සියලුම කාලගුණික තත්ත්වයන්ට සරිලන පරිදි පිළිසකර කිරීම හා නඩත්තු කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව ඉහත පළාත්වල තෝරාගත් ග්‍රාමීය ප්‍රජාවන් සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර ජාතික මාර්ග කිලෝමීටර් 340ක් පමණ පුනරුත්ථාපනය කර ඉතා හොඳ තත්ත්වයේ පවත්වාගෙන යනු ඇති බවත්, මාර්ග සම්බන්ධ ආයතනයන්හි සුරක්ෂිතතාව, මාර්ග ආරක්ෂාව, නඩත්තුව, පර්යේෂණ හා මාර්ග සැලසුම් හා ඉදිකිරීම් යන අංශයන්හි ධාරිතාවය වැඩිදියුණු කිරීම සිදු කරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

එසේම මෙම සමස්ත වැඩසටහන 2027 මාර්තු 31 වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ. එහිදී ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වෙමින් පවතින කොන්ත්‍රාත් මූල්‍යයනය සඳහ ඉහත ඩොලර් මිලියන 900න් ඩොලර් මිලියන 300ක් අදියර දෙකක් යටතේ ලබා ගෙන ඇතැයිද මුදල් අමාත්‍යාංශය පවසයි.

Visits: 157