ශ්‍රී ලංකන් ගුවන් සේවය සුඛෝපභෝගී බස්රථ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි පවසයි.

ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන් යානා අතර මගීන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස්රථ (Passenger apron coaches) තුනක් මිලදීගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගත්තේ ය.

මේ වනවිට ගුවන් තොටුපළේ කාර්යබහුලත්වය COVID-19 වසංගතයට පෙර පැවති තත්ත්වයට පැමිණෙමින් පවතින නිසා, බිම්ගත මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන උපකරණ මිලදී ගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය. මෙම ආයෝජනය මගීන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් තිළිණ කිරීමට ඉවහල් වනු ඇත.

“මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතාම යහපත් කාලසීමාවක්. පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ මේ නවීන බස්රථ මිලදීගැනීමටත්, බිම්ගත මෙහෙයුම් කාර්යක්ෂම කරන වෙනත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමටත් හැකි වීම අපට මහත් සතුටක්. මෙම වැඩිදියුණු කිරීම් හේතුවෙන්අපගේ මෙහෙයුම්වල කැපීපෙනෙන පරිවර්තනයක් සිදු වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම්ගත මෙහෙයුම් සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසී ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රසම්පාදන විධිවිධානවලට අනුකූලව සිදුකරන ලද පරිපූර්ණ හා විනිවිදභාවයෙන් යුත් තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම නව බස්රථ මිලදී ගන්නා ලදි. චයිනා ඉන්ටනැෂනල් මරීන් කන්ටේනර්ස් (China International Marine Containers) සමාගමෙන් මිලදී ගන්නා ලද මෙම බස්රථ නවීනතම තාක්ෂණයෙන් සහ ඉහළ සැපපහසුවකින් යුක්ත ය.

මෙහෙයුම් කටයුතු මෙලෙස වැඩිදියුණු කිරීම මගින් ගුවන් තොටුපළ සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස සැපයීමට මෙන්ම මගීන්ට වැඩි පහසුවක් සැලසීමටතමන්ට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය විශ්වාසය පළකරයි.

Visits: 0