කොමර්ෂල් බැංකුව තම ප්‍රථම DigiZone අත්දැකීම වැල්ලවත්ත ශාඛාවේ දී විවෘත කරයි

තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හඳුන්වාදීමට සහ එහි පහසුව සහ ක්‍රියාකාරීත්වය අත්විඳීම සඳහා නිර්මාණය කරන ලද පළමු DigiZone අවකාශය කොමර්ෂල් බැංකුව විසින් විවෘත කර ඇත.

වැල්ලවත්තෙහි, ගාලු පාරේ, අංක 343 දරණ ස්ථානයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවෙහි ක්‍රියාත්මක වන DigiZone අවකාශය ගණුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හා සමීප වීමටත් අවශ්‍ය නම් බැංකුවේ ඩිජිටල් සහකාරවරුන්ගේ සහාය ඇතිව ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමටත් නිර්මාණය වූ මධ්‍යස්ථානයකි.

ගණුදෙනුකරුවන්ට බැංකුවේ ඩිජිටල් යෙදුම් අත්විඳීමට, ඩිජිටල් බැංකුකරණය සඳහා ලියාපදිංචි වීමට, පවතින ගිණුම්වලට ලොග් වීමට හෝ නව ගිණුම් විවෘත කිරීමට සහ ඩිජිටල් බැංකු ගනුදෙනු සිදු කිරීමට හැකි වන පරිදි එය WiFi සම්බන්ධිත පරිගණක සහ ගණුදෙනුකරුවන්ගේ ජංගම උපාංග සඳහා නොමිලේ WiFi භාවිත කළ හැකි පරිදි නිර්මාණය වූවකි.

DigiZone විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වීම සහ උපාය මාර්ගික ඩිජිටල් මාර්ග සිතියමක් සකස් කර තිබීම පිළිබඳව බැංකුව ආඩම්බර වන බවයි. “අපගේ උපාය මාර්ගයේ හරය වන්නේ නිතිපතා ගනුදෙනු සඳහා ගණුදෙනුකරුවන් ඩිජිටල් නාලිකා වෙත සංක්‍රමණය කිරීම සහ ශාඛා තුළ මූල්‍ය සැලසුම්කරණය, ධනය කළමනාකරණය සහ වෙළඳ සේවා වැනි උපදේශන සේවා සැපයීමයි,” යැයි ඔහු අනාවරණය කළේය.

“අපගේ ඩිජිටල් නාලිකා සමඟ සම්බන්ධ වීමට අපගේ ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම අපගේ යුතුකම වන අතර, මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා එක් පියවරක් ලෙස DigiZone ක්‍රියාත්මක වන අතර මෙම සංකල්පය මෙන්ම මෙම ස්ථානය සඳහා බැංකුවට ආකර්ෂණීය සැලසුම් ඇත. එය අපගේ ගනුදෙනුකරුවන්ට අත්දැකීම් කලාපයක් පමණක් නොව, අනාගත පරපුරට ඩිජිටල් බැංකුකරණය පිළිබඳ දැනුම සපයන ස්ථානයක්,” යැයි ද මුණසිංහ මහතා පැවසුවේය.

ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයේ මාර්ග දර්ශකයෙක් වන කොමර්ෂල් බැංකුව උපරිම පාරිභෝගික පහසුව සඳහා පහසුකම් සැලසීමට නවීනතම ආරක්ෂිත විශේෂාංග සහ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් සමඟ නව්‍ය නිෂ්පාදන පරාසයක් සමඟින් බැංකුකරණයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇත. කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන බැංකු ක්ෂේත්‍රය තුළ ඉහළම භාවිතය අත්කර ගෙන ඇත.

Views: 0