Hayleys Solar මෙගාවොට් 200ක ස්ථාපිත ධාරිතාවක් පසුකරමින් ‘සූර්ය සත්කාර‘ දියත් කරයි

හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින් තම ගමන් මඟෙහි අති සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකරයි.

මෙය මෙරට ඉතිහාසයේ එක් ආයතනයක් මඟින් සිදුකරන ලද විශාලතම ධාරිතා ජනන ස්ථාපනය ලෙස සැලකෙන අතර, පිරිසුදු පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන් වූ තිරසාර සංවර්ධනයක් කරා සිරිලක ගෙන යන ගමනෙහි දැවැන්ත පියවරක් ලෙස සැලකිය හැක.

මේ වන විට ආසන්න වශයෙන් මෙගාවොට් 900ක් වන ශ්‍රී ලංකාවේ ස්ථාපිත සම්පූර්ණ සූර්ය බලශක්ති ධාරිතාවයෙන් මෙගාවොට් 200ක දැවැන්ත ස්ථාපන ධාරිතාවකට හේලීස් සෝලා හිමිකම් කියයි. ඒ හරහා වාර්ශිකව කිලෝග්‍රෑම් 202,446,520ක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැළැක්වීමට හැකියාව ලැබෙයි.

මෙම දැවැන්ත ජයග්‍රහණය සමරමින් විශේෂ සමාජ සත්කාර මෙහෙයුමක්, “සූර්ය සත්කාර” යන නමින් දියත් කරමින් දිවයින පුරා වෙසෙන ජනතාව දහස් ගණනකගේ ජීවිත වෙත පරිවර්තනීය වෙනසක් ලඟාකරදීම හේලීස් සෝලා ආයතනයෙහි බලාපොරොත්තුවයි. හේලීස් සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී, මොහාන් පන්ඩිතගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ දියත් කෙරෙන මෙම වැඩසටහන හරහා දිවයින පුරා පිහිටා ඇති ළමා නිවාස, වැඩිහිටි නිවාස හා විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගැන්වනු ඇත.

හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා අදහස් දක්වමින්, “හේලීස් සමූහයේ සමාජ මෙහෙවරයන්ගෙන් ලැබෙන පන්නරයෙන් ද සවිමත්ව, පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත සමාජ සත්කාර වැඩසටහනක් ලෙස “සූර්ය සත්කාර” වැඩසටහන හැඳින්විය හැකියි. මෙමඟින් ජාතික මෙහෙවරක් ඉටුකරන මෙම සත්කාර මධ්‍යස්ථාන, සූර්ය බලශක්තියෙන් බලගැන්වීම මෙන්ම, ඒ හරහා එම ආයතන වෙත ඉතිරි වන අරමුදල් එම ආයතනයන්ගේ අනෙකුත් වැදගත් අවශ්‍යතා සඳහා යොදාගැනීමට අවස්ථාව උදාකරදීම ද සිදුවෙනවා.”

හේලීස් සෝලා, විධායක අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොශේන් පෙරේරා මහතා, “මෙම වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින විවිධ ප්‍රජාවන් වෙත සූර්ය බලශක්තියේ ප්‍රතිලාභ රැගෙන යාමයි. මෙගාවොට් 200ක සූර්ය බලශක්ති ස්ථාපනයන් සාර්ථකව සිදු කිරීමට හැකිවීම දැවැන්ත ජයග්‍රහණක් වන අතර එම ප්‍රතිලාභ මෙරට අනාගත පරපුර වෙත දායාද කිරීමටත්, ඒ හරහා අපේ රට තුල පරිවර්තනීය වෙනසක් ඇති කිරීමටත් ඇති හැකියාවත් අපට පැහැදිලිව පෙන්නුම් කරනවා” යනුවෙන් සඳහන් කර සිටියි.

වහල මත සවිකරන සෝලා පද්ධති, බැටරි හා ඉන්වර්ටර්, සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල පොම්ප, ආලෝක පද්ධති හා උණුවතුර පද්ධති ඇතුලු විවිධ උපාංග හා සේවා රැසක් සපයන්නාවූ හේලීස් සෝලා, මෙරට අංක එකේ සුර්ය බල සන්නාමය ලෙස හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ හා හේලීස් සමූහයේ ප්‍රෞඪ උරුමය අනාගතයට රැගෙන යයි. මෙගාවොට් 200ක අති දැවැන්ත සන්ධිස්ථානය ඒ ගමන් මඟෙහි වැදගත් ජයග්‍රහණයක් සලකුණු කරයි.

Views: 0