විදුලිය ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 21.9%කින් පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු පහළ හෙළීම සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව සමස්ත ගාස්තු අඩුවීම 21.9%ක් ලෙස සටහන්ව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් පෙබරවාරි 22වැනිදා ඉදිරිපත් කර තිබූ 14%කින් විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව සිදුකළ සමාලෝචනය සහ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම ගාස්තු අඩුවීම සිදු කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

මෙහිදී ගෘහස්ත අංශයේ ඒකක 30ට වඩා අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ විදුලිය ඒකක මිල 33%කින් අඩු කර ඇත. එසේම ඒකක 61ත් 90ත් අතර මාසික පාරිභෝජනයක් ඇති විදුලි පරිභෝගිකයන්ගේ බිල්පත් 30%කින් අඩු කිරීමක් සිදු ව ඇත. මීට අමතරව ඒකක 90ට වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සඳහා 24%කින්ද, ඒකක 180ට වඩා වැඩි කාණ්ඩය සඳහා 18%කින්ද විදුලිය ගාස්තු අඩු කිරීමට එම කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබේ.

මේ අතර ආගමික ස්ථාන සඳහා වන ගාස්තු අඩු කිරීම 33%ක් ලෙසත් සඳහන්ව තිබේ. එසේම පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩයට 23%කින් ගාස්තු අඩු කිරීමටත්, රාජ්‍ය ආයතන කාණ්ඩය සඳහා 22%කින් ගාස්තු අඩු කිරීමටත් තීරණය වී ඇත.

මීට අමතරව හෝටල් සහ කර්මාන්ත සඳහා 18%කින් ගාස්තු අඩු කිරීමටත්, වීථි ලාම්පු සඳහා 20%කින් ගාස්තු අඩු කිරීමටත් පියවර ගෙන තිබේ.

මෙ අතර නව ගාස්තු ක්‍රමයට අනුව ඒකක 30ට අඩු පාරිභෝගිකයන්ගේ මාසික ගාස්තුව 180 සිට 150ක් දක්වාත්, ඔවුන් ගෙවන ඒකක මිල රුපියල් 12 සිට 8ක් දක්වාත් අඩු කර තිබේ. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගික කාණ්ඩය ගෙවූ රුපියල් 360ක මාසික ගාස්තුව රුපියල් 300ක් දක්වා අඩු කර ඇත. එසේම ඔවුන්ගේ ඒකකයක් සඳහා වන මිල රුපියල් 30 සිට 20ක් දක්වා අඩු කර ඇත.

Views: 0