2024 ජනවාරි මාසයේ අපනයන කාර්යසාධනයේ 0.77%ක පසුබැසීමක්

2024 වසරේ ජනවාරි මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 970.7 ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය 2023 ජනවාරි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 978.20ට සාපේක්ෂව 0.77% ක අඩුවීමක් ලෙස වාර්තා වී තිබේ.

මෙහිදී 2023 වසර හා සැසඳීමෙහ්දී ඇගලුම් සහ රෙදි පිළි (-10.17%ක), දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ (-29.09%ක), ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක (-18.37%ක), කුලුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන (-14.94%ක) සහ එළවලු (-19.68%ක) මෙන්ම බෝට්ටු නිෂ්පාදනයේ (-14.29%ක) සහ ඛනිජ තෙල් නිෂ්පාදන (-72.44%ක) ලෙස පෙන්නුම් කළ අපනයන ආදායම් පසුබැසීම ඊට හේතුව වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සිය භෘණ්ඩ අපනයනය කරන ලොව කලාප අනුව ගත් විට 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය පහත වැටී තිබේ. ඒ අනුව එක්සත් ජනපදය වෙත සිදු කරන අපනයන කාර්ය සාධනය (-13.46%කින්), යුරෝපා සංගමය (-3.41%කින්), දකුණු ආසියාව (-3.69%කින්), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (-33.00%කින්), පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් (-45.77%කින්), අප්‍රිකානු රටවල් (-9.24%කින්), මැදපෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තු හැර) (-10.00%කින්) යනාදී ලෙස පහත වැටී ඇත.

Views: 0