ලංකා වෝල්ටයිල්ස් කොටසකට රුපියල් 4.00 බැගින් රුපියල් බිලියන 1ක ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම (LWL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.00ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2024 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවත් ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශගෙවන දිනය ලෙස අප්‍රේල් 04 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 14 වැනිදා නම් කෙරී ඇත.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 53.90ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 52.10 හා සැසඳීමේදී රුපියල් 1.80ක් එනම් 3.45%ක වටිනාකම් ඉහළ යාමකි.

සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 273,000,000ක් වන අතර, මෙම ලාභාංශ ගෙවීමේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1ක් (රුපියල් 1,092,000,000) ලෙස ගණන් බලා තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට ලංකා වෝල්ටයිල්ස් පීඑල්සීහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 148,921,090ක් එනම් 54.50%ක් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමට හිමිව ඇත.

ලංකා වෝල්ටයිල්ස් සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම් මෙරට ප්‍රකට ව්‍යාපාරික ධමිමික පෙරේරා මහතාට අයත් සමාගම් වෙයි.

Views: 0