ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන් සන්නාම 500ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසාය සන්නාම 500ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇතැයි පවසයි.

විශේෂයෙන්ම අපනයන කේන්ද්‍රිය නිෂ්පාදන ආර්ථිකයක් වෙත දේශීය ව්‍යවසායක ප්‍රජාව රැගෙන යෑම සඳහා අවශ්‍ය කරන සන්නාම සංවර්ධනය කිරීම මෙම වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙයි.

මේ යටතේ තෝරාගත් අදාළ ව්‍යවසායකයින් සන්නාමකරණය පිළිබඳව දැනුවත් කිරීමටත්, එම එක් එක් වෙළෙඳ සන්නාමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපක්‍රමික සැලසුම් ඔවුන් සමඟ සම්බන්ධ වී ගොඩනැගීමටත්, එහි පසුවිපරම් ක්‍රියාවලිය තුලින් ඔවුන්ගේ තිරසාරභාවය ඇති කිරීමටත්, සමාජය තුළ සන්නාමකරණය පිළිබඳව ආකල්පයන් ප්‍රචලිත කිරීමටත් බලාපොරොත්තු වන බව එම අධිකාරිය පවසයි.

මේ හරහා ජාත්‍යන්තරය ජයගත් දේශීය ව්‍යවසායක සන්නාමයන් 500ක් බිහි කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අපේක්ෂා කෙරේ.

මෙම ජාතික වැඩසටහන සදහා ව්‍යවසායක ඔබට නොමිලේ ලියාපදිංචි වීමට අවස්ථාව ඇති අතර, ඒ සඳහා ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිටින “ව්‍යවසාය සංවර්ධන නිලධාරී” හමුවන ලෙසත් එම අධිකාරිය දැනුම් දෙයි.

මෙහිදී ලියාපදිංචිවීමට අදාළ ඉල්ලුම්පත්‍රය ලබා ගැනීමට  https://neda.gov.lk/index.php/b500-project/ යන සබැඳිය භාවිතා කළ හැකිය.

එහි ඇති අයදුම්පත්‍රය ඩවුන්ලෝඩ් කර, එය පුරවා ලියාපදිංචි තැපෑල ඔස්සේ “ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, 561/3, ඇල්විටිගල මාවත, කොළඹ 05 ලිපිනයට එවිය හැකිය. එහිදී එම ලිපියෙහි පිට කවරයේ වම්පස ඉහළ “B500” ලෙස සටහන් කළ යුතුව ඇත. එසේත් නැත්නම් b500neda@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙතද යොමු කළ හැකිය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112368356 දුරකථන අංකයෙන්ද තොරතුරු විමසා දැනගත හැකිය.

Views: 0