ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 08 වැනිදා සිට ශ්‍රි ලංකාවේදී

LCT T20 League Pvt Limited සමාගම මගින් ක්‍රියාත්මක කරන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය (Legends Cricket Trophy) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි පවසයි.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති අතර, එහිදී ක්‍රීඩකයන් කණ්ඩායම්වලට වෙන්දේසි කිරීම සහ මෙම කුසලානය සඳහා සැකසූ ජර්සිය එළිදැක්වීම සිදුවිය.  

මෙහිදී ක්‍රීඩක වෙන්දේසියට චමින්ද වාස් සහ තිසර පෙරේරා යන ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක පර්වේස් මහරූෆ්ද ඊට සත්කාරකත්වය දැක්වීය.

කණ්ඩායම් 7ක් යටතේ ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු සහභාගි වන මෙම ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය ලබන මාර්තු 08 වැනිදා සිට දින 14ක් පුරා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

LCT T20 League Pvt Limited සමාගම මෙම Legends Cricket Trophy තරඟාවලිය ආරම්භ කරමින් ප්‍රථම වරට පසුගිය වසරේදී ඉන්දියාවේ දිල්ලි නගරයේදී  සාර්ථක තරගාවලියක් පවත්වන ලදී.

මෙම තරගාවලියට පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීයකොදෙව්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල ලෙජන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයන් අදාළ කණ්ඩායම් සඳහා වෙන්දේසි කරනු ඇත.

මෙම තරගාවලිය සඳහා අදාළ කණ්ඩායම් වන්නේ Rajasthan Kings, Delhi Devils, Punjab Royal, Kandy Warriors, Colombo Lions, New York Superstar Strikers සහ Dubai Giants යන කණ්ඩායම්ය.

කණ්ඩායම් හතට වෙන්දේසි කරන ලද ක්‍රීඩකයන්ට යුවරාජ් සිං, ක්‍රිස් ගේල්, සුරේෂ් රයිනා, බෙන් ඩන්ක්, රොස් ටේලර්, ජොහාන් බෝතා, හර්භජාන් සිං, ෂහීඩ් අෆ්රිඩි, කම්රාන් අක්මාල්, සනත් ජයසූරිය, මිස්බා-උල්-හක්, අම්බාති රායුදු, ඩිවේන් බ්‍රාවෝ, තිසර පෙරේරා සහ ඉම්රාන් තහීර් ඇතුළත් වූහ.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ, Legends Cricket Trophy අධ්‍යක්ෂ ෂිවේන් ෂර්මා  ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ තරඟාවලියේ සාර්ථකත්වය සැලකිල්ලට ගන්නා විට, ශ්‍රි ලංකාව නිසැකවම අපගේ දෙවැනි තරඟාවලිය පැවැත්වීමට හොඳම යෝජනාව බවට පත්වුණා. ඉන්දියාවේ වගේම ශ්‍රී ලංකාව තුළද ක්‍රිකට් කෙරෙහි මහත් ඇල්මක් පවතින අතර මෙරට ක්‍රීඩා ලෝලීහු ඔවුන්ගේ ලෙජන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයන් පිටියේදී දක්වන සුවිශේෂී දස්කම් අඛණ්ඩව දැකගැනීමේ අභිලාෂයෙන් පසුවෙනවා.” යනුවෙන් පැවසීය.

Views: 0