සම්පත් බැංකුව කොටසකට රුපියල් 5.85 බැගින් රුපියල් බිලියන 6.8ක ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව (SAMP.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ  ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5.85ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කිරීමට නියමිතව තිබේ.

අද දිනය වනවිට බැංකුව මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව කොටස් 1,172,700,760කි. ඒ අනුව කොටසකට රුපියල් 5.85ක් බැගින් ලබා දෙන සමස්ත ලාභාංශයේ වටිනාකම රුපියල් බිලියන 6.8ක් (රු. 6,860,299,446.00ක්) බව බැංකුව පවසයි.  

මෙය 2023 – 24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සම්පත් බැංකුව සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 24 වැනිදා නම් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 01 වැනිදා ප්‍රකාශ කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද සම්පත් බැංකුව පවසයි. ලබන මාර්තු 28 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති සම්පත් බැංකුවෙහි මීළග වාර්ෂික මහා සභා රැස්වීමේදී ඊට අදාළ අනුමැතිය ලබා ගන්නා බවත් බැංකුව සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරවාරයේදී සම්පත් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 73.80ක් දක්වා පෙර දිනයේ පැවැති රුපියල් 72.10ට සාපේක්ෂව රුපියල් 1.70කින් ඉහළ නැග තිබුණි.

Views: 0