සයිෆුඩීන් ජැෆර්ජි ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙහි (JAAF) සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැනේ

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAAF) හි නව සභාපතිවරයා ලෙස පසුගියදා පැවැති එහි  20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගෙන තිබේ.

මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ සියලු සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන එකම සංගමය ලෙස මහතා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සැලකෙයි.

මීට අමතරව එහි උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර ගැනීමත් සිදුව තිබේ.

මෙම ධුරයට පත් වීමෙන් අනතුරුව ජැෆර්ජී මහතා ඇඟළුම් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිදුකල යුතු සය වැදෑරුම් ප්‍රතිපත්තිය පිළිබඳව කර්මාන්තය දැඩිව අවධානය යොමු කළ යුතු බවත් මේ සඳහා රජයේ සහාය අනිවාර්යයෙන් අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. මෙම සය වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව තුළින් මෙරට ඇඟළුම් කර්මාන්තය ලොව අංක එකේ ස්ථානයට පත්කිරීම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රමුඛතම අරමුණ බව සිය ආරම්භක දේශනයේදී ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ගාමක බලවේගය වන්නේ අපනයනාභිමුඛ කර්මාන්තයන් බව අපට හොඳින් අවබෝධ වී තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති දැනට ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික වැඩසටහන් මගින් අපගේ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වී තිබෙනවා. එබැවින් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය වශයෙන් වර්තමාන රජයේ නායකත්වය සමග සම්බන්ධ වී අපනයන අරමුණ වෙත දැඩි අවධානයක් යොමු කළ යුතු ව්‍යාපාර විධි ක්‍රමයන් වෙත නොපමාව යා යුතු බව මාගේ අදහසයි. එමෙන්ම කර්මාන්තයක් පමණක්ම වශයෙන් නොව රටේ සමස්ත ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කරමින් ඇඟළුම් ක්ෂේත්‍රයේ අපනයන ප්‍රවර්ධනය කළ යුතුයි” යනුවෙන් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති විදුලි මිල ගණන්වලට අනුකූල වීම හේතුවෙන් තරඟකාරී රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ මෙහෙයුම් පිරිවැය 50% කින් වැඩි වී ඇත. මෙම ප්‍රවණතාව තිරසාර නොවන බවත් ඒ සඳහා වෙනස්කම් සිදු කරන ලෙසත් ජැෆර්ජි මහතා රජයෙන් ඉල්ලා සිටී.

ආරම්භයේදී තාවකාලික පියවරක් ලෙස ක්‍රියාත්මක කරන ලද අනිවාර්ය විදේශ විනිමය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඉස්මතු කළ ජැෆර්ජි මහතා විශේෂයෙන්ම විනිමය අනුපාතිකය සහ බැංකු පද්ධතියේ අතිරික්ත ද්‍රවශීලතාව ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ද මහ බැංකුවෙන් ඉල්ලා සිටියේය.

මේ අතර 2024 වසරේ අග භාගයේදී කර්මාන්තය සඳහා ඇණවුම්වල වැඩි වීමක් පෙන්නුම් කරන සුබවාදී බලාපොරොත්තු පිළිබඳව ජැෆර්ජි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 0