Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ කෙරේ

Greenpeace සංවිධානයේ දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ බව එම සංවිධානය පවසයි. සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ ශ්‍රී ලංකා චාරිකාවත් සමඟින් එය සනිටුහන් වීමත් විශේෂිත අවස්ථාවකි.

Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී  ‘දේශගුණය සඳහා ජනතාව – Greenpeace  ඉන්දියානු සාගර නැව් චාරිකාව 2024’ දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම උත්සව අවස්ථාව අමතමින් Greenpeace South Asia හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, පරිසරවේදී ජෙහාන් කනගරත්න මහතා මෙසේ සඳහන් කළේය. “අප ශ්‍රී ලංකාව තුළ පාරිසරික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. අපගේ කෘෂිකර්මාන්ත කටයුතුවලට මෙන්ම ජීවනෝපායන්ට ද දේශගුණික විපර්යාස තුළින් බාධා ඇති වෙනවා. අපි දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි අවම බලපෑමක් සිදුකළද, දකුණු ආසියාවේ ජෛව විවිධත්වයෙන් අනූන රටක් ලෙස අප ද යම් අසමාන බලපෑමකට ලක්ව සිටිනවා. එබැවින් අපි ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස සඳහා කැපවූ පදනමක් වන Greenpeace South Asia සහ අනෙකුත් ප්‍රාදේශීය පාරිසරික ව්‍යාපාර සමඟ එකතු වී ඒ වෙනුවෙන් පෙනී සිටීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී තිබෙනවා.”

මෙහිදී සහභාගි වූ පිරිස  කලාපයේ ‘ආන්තික ජනගහනයට බලපාන මූලික පාරිසරික ගැටලු විසඳීම සඳහා කලාපීය සහයෝගීතාවය පිළිබඳ  ඇති හදිසි අවශ්‍යතාවය’ පිළිබඳව අවධාරණය කරමින් සාකච්ඡාවක නිරත වූ අතර මෙම සැසිය මඟින් සහභාගිවූවන් අතර බලාපොරොත්තුව සහ අධිෂ්ඨානය වර්ධනය කරමින් පාරිසරික ක්‍රියාකාරකම් සඳහා සාමූහික හැඟීමක් ඇති කළේය.

Greenpeace හී මෙම වැඩසටහන් මාලාව පෙබරවාරි 18 වැනි දින දක්වා ප්‍රාදේශීය ප්‍රජාව, තරුණ නියෝජිතයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පාර්ශ්වකරුවන්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්, මාධ්‍ය, අධ්‍යාපන ආයතන, පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සේවකයන් සහ ආධාරකරුවන්ගේ අපමණ දායකත්වය සහිතව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම සාමුහික ප්‍රයත්නය මඟින් දකුණු ආසියාතික  කලාපයේ පැතිකඩ ඔස්සේ දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය වැනි ගැටලු විසඳීමට සිය සහය ලබාදීමට අදහස් කෙරේ.

Views: 0