පොත් කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස කර්මාන්තකරුවෝ ඉල්ලති

මේ දක්වා බදුවලින් නිදහස් කර තිබූ පොත් සඳහා රජය විසින් එකතු කළ අගය මත (VAT) බද්ද පැනවීම නුසුදුසු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමය මගින් පසුගියදා කැඳවූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ විරෝධය රජය වෙත දන්වා සිටියේය. මෙම අවස්ථාව සඳහා පොත් ප්‍රකාශකයන්ට අමතරව, කතුවරුන්, මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන්නවුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

විශේෂයෙන්ම මෙලෙස පොත් සඳහා වැට් බදු පැනවීම නිසා සමාජයේ බොහෝ දෙනෙකුට දැනුම ලබා ගැනීමට ඇති ඉඩකඩ අහිමි වීම හේතුවෙන්, සමාජ හා ආර්ථික සංවර්ධනයට ඇති වන දිගුකාලීන විනාශකාරී බලපෑම් ඔවුන් මෙහිදී පෙන්වා දී දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා, “රජයේ ආදායම් ඉහළ නැංවීමේ කෙටිකාලීන අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවකට බලපෑ හැකි ආකාරයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය හා පුද්ගල සංවර්ධනය පසුබෑමට ලක් වන, විනාශකාරී දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකියි.” යනුවෙන් පවසා සිටියේය.

එසේම කිසිඳු වගවිභාගයක් නොමැතිව වැට් බදු වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාව 1950 වසරේ යුනෙස්කෝ සංවිධානයේ ෆ්ලෝරන්ස් ගිවිසුම ද උල්ලංඝනය කරමින් සිටින බවද මෙහිදී අනාවරණය කෙරිණි. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ මුල් අත්සන්කරුවෙකු ද වන අතර මේ වන විටත් එහි අඛණ්ඩ ගිවිසුම්කාර පාර්ශවයක් ව පවතී.

ෆ්ලෝරන්ස් ගිවිසුමට අනුව ආනයනය කරනු ලබන යම් අධ්‍යාපනික, විද්‍යාත්මක, සහ සංස්කෘතික ද්‍රව්‍ය මත රේගු බදු හා අනෙකුත් බදු පැනවීමෙන් වැළකී සිටීමට එහි ගිවිසුම්කාර පාර්ශවයන් බැඳී සිටියි.

මෙම කර්මාන්තකරුවන් මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ මෙම කර්මාන්තය දැනටමත් බදු ආදායම ලෙස රජයට රුපියල් බිලියන 1 කට වැඩි දායකත්වයක් ලබා දෙන බවයි. ඒ පාසල් පෙළපොත් සහ අනෙකුත් පොත් නිෂ්පාදනය කිරීමේ දී යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් 90%ක් ම සපයන ආනයනකරුවන් විසින් ගෙවනු ලබන වැට් බද්ද හරහා යි. එබැවින් පොත් සඳහා වැට් බදු පැනවීම මගින් පොත් ප්‍රකාශකයන්ගෙන් ද්විත්ව බදු අයකිරීමේ අක්‍රමිකතාවයක් ඇතිවන අතර එමගින් දුෂ්කර තත්ත්වය තවත් උග්‍ර අතට හරවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

පොත් සඳහා 18%ක වැට් බදු පැනවීමට රජය ගත් තීරණයට දැනටමත් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇති බව පවසන මෙම කර්මාන්තකරුවන්, ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයින්ගේ සංගමය (IPA) සහ එක්සත් යුරෝපීය හා ජාත්‍යන්තර පොත් අලෙවිකරුවන්ගේ සංගමය (EIBF) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය විරෝධය මෑතකදී ලිඛිතව දැනුම් දී ඇතැයිද මෙහිදී පවසා සිටියේය.

Views: 0