ශ්‍රී ලංකා – තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ දිනයේදී ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දෙරට අතර වසර ගණනක් පුරා පැවැති සාකච්ඡාවට රැසකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණීම සිදුව තිබේ.

ඒ අනුව මෙහිදී භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සිදුවූ බව රජය පවසයි.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින තායිලන්ත අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි. එහිදී තායිලන්ත සහ ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍යවරුන් අතර අදාළ එකඟතාවට අත්සන් තැබීම සිදුවිය.

එසේම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් ගුවන් සේවා සැපයීම වෙනුවෙන් නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම මෙන්ම ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායීකරණයේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවත් විශේෂයෙන්ම තායිලන්තය ඇතුළු නැගෙනහිර ආසියානු සහ ආසියාන් කලාපය සතුව පවතින අනාගත හැකියාවන් සමඟින් ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම හරහා ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය අත්කර ගැනීම තම මූලික උපාය මාර්ගය බවත් පවසා සිටියේය.

Views: 0