හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී පවුම් මිලියන 8කට බ්‍රිතාන්‍ය සමාගමක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සමාගම බ්‍රිතාන්‍යයේ පිහිටි ක්‍රීඩා ඇගලුම් හා සම්බන්ධ සන්නාම ලියාපදිංචි කිරීමේ ප්‍රමුඛතම සමාගමක් වන Focus Brands Limited සමාගම මිලදී ගත් බව පවසයි.

පසුගිය ජනවාරි 24 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහි සමස්ත වටිනාකම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් 8,000,000ක් ලෙස සටහන්ව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 3.2ක් (3,233,250,426) පමණ වෙයි.

එහිදී හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන මුරුසියේ ලියාපදිංචි හෙළ බ්‍රෑන්ඩ් ලිමිටඩ් සමාගම සහ Focus Brands Limited සමාගම අයත් බ්‍රිතාන්‍යයේ පිහිටි JD Sports Fashion PLC සමාගම අතර ඇති වූ එකඟතාවකට අනුව මෙම මිලදී ගැනීම සිදුව තිබේ.

එක්සත් රාජධානියේ ලියාපදිංචි මෙම Focus Brands Limited සමාගම අද වනවිට එරට තුළ ක්‍රීඩා ඇගලුම් විලාසිතා සහ ජීවන විලාසිතා ඇගලුම් සන්නාම නිර්මාණය කිරීමේ, නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ නිරත ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙයි.

එසේම අද වනවිට එම සමාගම සතුව එක්සත් රාජධානියේ සහ යුරෝපයේ වඩාත් ජනප්‍රිය Ellesse සහ Nautica යන ඇගලුම් සන්නාම ඇතුළු සන්නාම රැසකම නිර්මාණ සහ බෙදාහැරීමේ සුවිශේෂී බලපත්‍රයද හිමි බවත් පැවසෙයි.

Focus Brands Limited සමාගම හිමි ව තිබූ JD Sports Fashion PLC සමාගමද බ්‍රිතාන්‍ය තුළ ලියාපදිංචි සමාගමක් වන අතර, එය අද වනවිට ක්‍රීඩා විලාසිතා සහ එළිමහන් ඇගලුම් සන්නාම අතර ප්‍රධාන සමාගමක් බවද හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 0