ශ්‍රී ලංකාවේ පළමු වරට කුරුඳු වගාකරුවන් සඳහා GI සහතික නිකුත් කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව මෙරට ඉතිහාසයේ පළමු වරට කුරුඳු වගාකරුවන් සඳහා ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) සහතික පිරිනැමීම පසුගියදා කොළඹ දී සිදුවිය.

ලංකා කුරුඳු ඉහළ වටිනාකමක් ඇති වෙළඳපොළ වෙත අපනයනය සදහා ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට ආවේණික වූ ලංකා කුරුඳුවල තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ යුරෝපා සංගමයේ (EU) සහාය මේ සදහා ලබා දුන් අතර ඒ යටතේ ගොවීන්/සැකසුම්කරුවන් 45 දෙනෙක් GI අවශ්‍යතා සපුරාලමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම GI සහතිකය ලත් ලංකා කුරුඳු වගාකරුවන් බවට පත් විය.

2022 දී එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) සහය ඇතිව, යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ප්‍රථම වරට ආරක්ෂිත භූගෝලීය දර්ශකය GI තත්ත්වය ලබා දෙන ලදී.

සහතිකපත්‍ර‍ ප්‍රදානය කිරීමේ අවස්තාවට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංසිලි බර්නාඩ් සදහන් කළේ යුරෝපීය වෙළෙඳපොළ තුළ ලංකා කුරුඳු සඳහා පවතින තරගකාරී තත්ත්වය ඉහළ නැංවීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ යෑම මෙන්ම ඉහළ ආදායම් සහ රැකියා උත්පාදනය සම්බන්ධයෙන් ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවයි.

IFC ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු Alejandro Alvarez de la Campa අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව කුළුබඩු සදහා ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධ වී ඇති හෙයින් ඉහළ වටිනාකමක් ඇති ගෝලීය වෙළඳපළ හරහා ළඟා වීමෙන් ලංකා කුරුදු සදහා වඩා හොඳ වෙළඳපළක් ලබාගත හැකි බවයි.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන උපායමාර්ගික වෙළඳපළ පර්යේෂණ සපයන ආයතනයක් වන යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් ආයතනය ලංකා කුරුඳු අපනයනය සඳහා ඉහළ වටිනාකමකින් යුත් වෙළඳපළ සහ නිෂ්පාදන යෙදුම් හඳුනාගැනීම සඳහා වෙළඳපළ පර්යේෂණ වාර්තාවක් එළි දක්වන ලදී. ඒ යටතේ එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය යන රටවල් විභව අපනයන වෙලඳපොළවල් ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ කුරුඳු වගාකරන කුඩා වතු හිමියන් අතර ඉහළ වටිනාකමක් ඇති වෙළඳපළවල ගුණාත්මක අවශ්‍යතා පිළිබඳ දැනුම නොමැතිකම කුරුඳු කර්මාන්තය මුහුණදෙන ප්‍ර‍ධාන අභියෝගයකි. මීට අමතරව කුරුඳු අපනයන කරන රටවල පාරිභෝගිකයන් ආදේශක කුරුඳුවලට සාපේක්ෂව ලංකා කුරුඳුවල ඇති සුවිශේෂී ගුණාංග සහ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව නොදැන සිටිති. ඒ අනුව මෙම සහතිකය කෘෂිකාර්මික අංශයට නව අවස්ථා උදාකර දෙමින් ඉහළ වටිනාකමක් ඇති වෙළෙඳපොළ අතර විශ්වාසය ගොඩනැගීමට උපකාරී වනු ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ශ්‍රේණියේ පිරිසිදු කුරුඳු නිෂ්පාදනයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන අතර ආදේශක කැෂියාවලට වඩා සහජයෙන්ම උසස්ය. ලංකා කුරුඳු යනු තේවලට පසු ශ්‍රී ලංකාවේ තනි විශාලතම කෘෂිකාර්මික අපනයන භෝගය වන අතර එය ගෝලීය වෙළඳපළ කොටසෙන් සියයට 90ක් වේ. කුඩා වතු හිමියන් 70,000කට අධික පිරිසකගේ ජීවනෝපාය සඳහා සහය වන අතර බහුතර කාන්තාවන් වන ශ්‍රී ලාංකිකයන් 350,000කට වැඩි පිරිසකට රැකියා සපයයි.

Visits: 0