නෙස්ලේ ලංකා කොටස් අද සිට CSE වෙතින් ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී (NEST.N0000) සමාගමෙහි කොටස් අද (17) දිනයේ සිට එම ලැයිස්තුගතවීමෙන් ඉවත් කරගන්නා බව සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතා විසින් කොටස් හුවමාරුවෙහි සියලු ගනුදෙනු පාර්ශ්වකරුවන් වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

2001 දෙසැම්බර් 01 වැනිදා නිකුත් කරන ලද අංක 1215/2 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුළත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ 5 (7) රීතිය යටතේ මෙලෙස එම ලැයිස්තුගත කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි නිල ලැයිස්තුවෙන් ඉවත් කරන බව සඳහන් වෙයි.

එම කොමිෂන් සභාව විසින් පසුගිය වසරේදී මෙලෙස එම ලැයිස්තුගතවීමෙන් ඉවත් වීම සඳහා නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම වෙත අනුමැතිය ලබාදී තිබුණි.

එම අනුමැතියත් සමගින්ම ඒ වනවිට නිකුත් කර තිබූ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1,500ක් බැගින් ලබාදී එම කොටස් ඉවත් කරගැනීමක් සිදු කර ගැනීමට සමාගම කටයුතු යොදා තිබුණි.

නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පසුගිය වසරේ මැයි මාසයේ 03 වැනිදා පළමුවරට මෙලෙස සිය කොටස් කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් කරගන්නා බව ප්‍රකාශ කර සිටියේය. අනතුරුව ජූනි 30 වැනිදා පැවැත්වුණු එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම ඉවත්වීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරගත් බවත් සමාගම පැවසීය.

Visits: 0