මහනුවර නගර සභාව ඩිජිටල් මුදල් ගනුදෙනු සඳහා Pay&Go සමග එක්වෙයි

මහනුවර නගර සභාව (KMC) ඩිජිටල් මුල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මොබයිල් ඇප් එකක් වන Pay&Go සමගින් එක්ව ඇතැයි පවසයි.

Pay&Go හා ඩිජිටල් හවුල්කාරිත්වයට එළඹෙමින් නගර සභාව, ප්‍රදේශයේ ජනතාවට ස්වකීය මුල්‍ය ගනුදෙනු එනම්, බිල්පත්, වරිපනම් බදු මෙන්ම, අනෙකුත් ගෙවීම් සඳහා ද වඩාත්ම පහසු හා කාර්යක්ෂම අවකාශ සලසා දී තිබේ.

ඩිජිටල් මුල්‍ය ගනුදෙනු සඳහා Pay&Go සමගින් මෙලෙස අත්වැල් බැඳගැනීම, නගර සභා බල ප්‍රදේශය තුළ ජනතාවට මාහැඟි පහසුව සැලසීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය හා එක්වීමේ නගර සභාවේ කැපවීමද එමගින් පිළිඹිබු කෙරේ.

Pay&Go හා ඩිජිටල් හවුල්කාරීත්වයට මෙලෙසින් මුල පිරූ මහනුවර මහ නගර සභාව, ගෝලීය ඩිජිටල් සාක්ෂරතාවයෙහි නව ප්‍රවණතා හා එක්වෙමින් ප්‍රදේශයේ ජනතාවට ආයාසයකින් තොරව Pay&Go මොබයිල් app එක මගින් නගර සභාව වෙත කරන සියලු බදු ගෙවීම් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

එය මෙරට බදු ගෙවීම් සම්බන්ධ නවමු අරුතක් දනවන්නක් වන අතරම, බදු ඉතිහාසය තුළ නව යුගයක ආරම්භය ද සනිටුහන් කරන්නකි. ඒ, Pay&Go පරිශීලක හිතකාමී මොබයිල් app එක, ප්‍රදේශය පුරා පිහිටුවා ඇති kiosks යන්ත්‍ර හා ඒකාබද්ධ කරමින් වඩාත් පහසු මුල්‍ය ගනුදෙනු අත්දැකීමක් සඳහා ජනතාවට ඉඩකඩ සලසා ඇති බැවිනි.

එබැවින්, මෙය සරල හා කාර්යක්ෂම මූල්‍ය ගනුදෙනුවක් කරා ජනතාව යොමු කිරීමේ පියවරක් පමණක් නොවන අතර, මෙම සුවිශේෂී කඩඉමට එළඹෙමින් ජනතාවගේ යහපැවැත්ම සඳහා කාලීන වශයෙන් වැදගත් සාර්ථක ඩිජිටල් විසඳුම් ක්‍රියාත්මක කිරීමේ KMC හි ප්‍රයත්නයද විදහා දක්වන්නකි.

අද වන විට දිවයින පුරා පරිශීලකයින්හට ප්‍රවේශය පහසු කරමින් kiosks යන්ත්‍ර දහසකට වැඩි ප්‍රමාණයකින් යුතුව, POS පර්යන්ත 750 කටත් අධික ප්‍රමාණයක් සහිතව Pay&Go, ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුදල් ගනුදෙනු මුළුමනින්ම වෙනත් මානයක් වෙත හරවා තිබේ.

එමෙන්ම එය, මේ වන විටත් සුවිශාල පරිශීලක ප්‍රජාවකගේ විශ්වාසය හා කැමැත්ත දිනාගනිමින් තිබෙන බව, ශ්‍රී ලංකාව පුරාම 100,000 කට අධික පිරිසක් මෙම මොබයිල් app එක ඩවුන්ලෝඩ් කරගෙන තිබීමෙන්ද සනාථ වේ.

Visits: 29