SLIIT පස්වැනි වරටත් පවත්වන ICAC 2023 සමුළුව දෙසැම්බර් 07-08 වෝටර්ස්එජ් හිදී

SLIIT විසින් පවත්වනු ලබන පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන 5 වැනි ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ලබන දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

SLIIT හි පරිගණක පීඨය විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුව හරහා පරිගණක ක්ෂේත්‍රයේ අනාගත තාක්ෂණික නවෝත්පාදන නිමැවුම් සඳහා ඉවහල් වන නව්‍ය ගැටලු සහ ප්‍රවණතා සාකච්ඡා කිරීමට සහ දේශීය හා ගෝලීය වශයෙන් උසස් මට්ටමේ පර්යේෂණ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කර දේ.

තිරසර ආර්ථිකයක් සඳහා අවශ්‍ය තාක්ෂණික නවෝත්පාදනය මෙම වසරේ ICAC 2023 සමුළුවේ තේමාව වී ඇති අතර, ඒ සඳහා අවධානය ලබා දිය යුතු වැදගත් ක්ෂේත්‍ර පිළිබඳව ආමන්ත්‍රණය කිරීම මෙවර සමුළුවේ අරමුණ වී ඇත.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර කථිකයන් දෙදෙනෙකුගේ ප්‍රධාන දේශන දෙකක් ඇතුළත් වී තිබේ. එහිදී ජපානයේ ක්යුෂු විශ්වවිද්‍යාලයේ (Kyushu University) ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මහාචාර්ය කසුඕ කිගුචි විසින් ‘මානව චලන අදහස පිළිබඳ තත් කාලීන ඇස්තමේන්තුව සහ කෘතිම චලන සංවේදනය ජනනය කිරීම’ (Real-time Estimation of Human Motion Intention and Generation of Artificial Motion Sensation) යන මාතෘකාව සම්බන්ධයෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොෂාන් රාගල් විසින් ‘උපාංගවල අන්තර්ජාලය කෘත්‍රිම බුද්ධිය:නැගී එන ප්‍රවණතා සහ අනාගත ගමන් මග’ (Artificial Intelligence for Internet of Things: Emerging Trends and Future Directions) යන මාතෘකා සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇත.

මීට අමතරව දෙසැම්බර් 08 වන දින විලී (Wiley) හි ජ්‍යෙෂ්ඨ දත්ත විද්‍යාඥ හා විශේෂඥ වෛද්‍ය නලින්ද කුලතුංග විසින් ‘NLP හි සන්දර්භය උපුටා ගැනීම අවබෝධ කර ගැනීම’ (Understanding Context Extraction in NLP) යන මාතෘකාව යටතේ නව අදහස් හා ක්‍රම හඳුන්වා දීම පිළිබඳව සහ ‘අන්තර්ජාලය මගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු’ (Internet of Things for Everyday Life) යන මාතෘකාව යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයේ මහාචාර්ය චතුර ආර්. ද සිල්වා සහ ආචාර්ය කුටිල ගුණසේකර විසින් විශේෂිත වැඩමුළු කිහිපයක්ද පවත්වනු ඇත.

ICAC 2023 සමුළුව හරහා කෘත්‍රිම බුද්ධිය, යාන්ත්‍රික අධ්‍යයනය, පරිගණක දැක්ම, ස්වභාවික භාෂා සැකසීම, සයිබර් ආරක්ෂණය යනාදී ක්ෂේත්‍රවල ඉහළ පෙළේ පර්යේෂකයන්, විද්වතුන් සහ කර්මාන්ත පිළිබඳ විශේෂඥයින් එක් කරනු ඇත.
මෙම වසරේ සමුළුවේ සාර්ථකත්වය පිළිබිඹු කරමින්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ශ්‍රී ලංකාව ඇතුළු දේශීය හා ජාත්‍යන්තර කතුවරුන්ගෙන් වාර්තාගත ලෙස පර්යේෂණ පත්‍රිකා අත්පිටපත් 489ක් ICAC සමුළුව වෙත ලැබී තිබේ.

එම පත්‍රිකා සම්බන්ධව දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව උසස් තත්ත්වයේ පත්‍රිකා තෝරා ගැනීමට මේ වන විට කටයුතු කර ඇත. ඒ අනූව මෙම අවස්ථාවට ඉදිරිපත් කිරීම සඳහා ලැබුණු පර්යේෂණ පත්‍රිකා අත්පිටපත් ප්‍රමාණයෙන් පත්‍රිකා 146 ක් තෝරා ගැනීමට ලක්ව තිබේ.

මෙම සමුළුවේ වටිනා තාක්ෂණික සැසි 30ක්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පවත්වනු ලබන පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළු 4ක් හරහා මේ සඳහා සහභාගිවන්නන්ට සුවිශේෂී වූ අධ්‍යාපන අත්දැකීමක් ලබා දෙනු ඇත.

ඒ අනූව ස්වයංක්‍රීය බුද්ධිමත් යන්ත්‍ර සහ පද්ධති (Autonomous Intelligent Machines and systems), කෘතීම බුද්ධියේ සහ යාන්ත්‍රික අධ්‍යනයේ දියුණුව (Advances in AI and Machine Learning), පරිගණක දැක්ම (Computer Vision), ස්වභාවික භාෂා සැකසුම (Natural Language Processing), සයිබර් ආරක්ෂාව (Cyber Security), සෞඛ්‍ය ආරක්ෂණ සහ උපකාරක තාක්ෂණ (Healthcare and Assistive Technologies), සන්නිවේදන සහ ජාලගත සේවා (Communication and Networked Services), තාක්ෂණයෙන් වැඩි දියුණු කළ ඉගෙනීම (Technology-enhanced Learning), බෙදා හරින ලද සහ සමාන්තර පරිගණකකරණය (Distributed and Parallel Computing), තොරතුරු පද්ධති (Information Systems), මානව-පරිගණක අන්තර්ක්‍රියා (Human-Computer Interaction) සහ කෘෂිකර්මාන්තය පිළිබඳ තොරතුරු තාක්ෂණ (ICT in Agriculture) වැනි මාතෘකා පිළිබඳව මෙම සමුළුවේදී පුළුල් පරාසයක විහිදුනු අධ්‍යාපන ආවරණයක් කෙරෙනු ඇත.

ICAC 2023 සමුළුවේ සභාපති ආචාර්ය දසුනි නාවින්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “ICAC හි ප්‍රධානතම පරමාර්ථය වන්නේ පර්යේෂණ සංස්කෘතිය සහ පරිගණකකරණයේ සියලුම ක්ෂේත්‍රවල, විශේෂයෙන් ශ්‍රී ලාංකික විද්වතුන් විසින් කරනු ලබන පර්යේෂණවල ප්‍රගතිය වැඩි දියුණු කිරීමයි. මෙවර ICAC 2023 සමුළුව නව සබඳතාවයන් පෝෂණය කරමින්, අලුත් අදහස් නිර්මාණය කරන සහ පරිගණක ක්‍ෂේත්‍රයේ ප්‍රගතියට සැබවින්ම දායකත්වයක් ලැබෙන වඩාත් වටිනා සහ ධනාත්මක අත්දැකීමක් වනු ඇතැයි කියා මම බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ප්‍රකාශ කළාය.

Visits: 33