UB Finance කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම හෙට (14දා)

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන UB Finance Company Limited සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) හරහා නිකුත් කළ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම හෙට (14දා) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි එම සමාගම ලැයිස්තුගත කරන බව UB Finance Company Limited සමාගම පවසයි.

4020 – පාරිභෝගික මූල්‍ය සේවා (Consumer Finance Services) කාණ්ඩය යටතේ එම සමාගම වර්ගීකරණය කර තිබේ.

මෙලෙස ලැයිස්තුගත කෙරෙන UB Finance Company Limited සමාගමේ කේතය වන්නේ UBF –N000 යන්නයි.

මෙහිදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,754,687,318ක් ලැයිස්තුගත කරන බවත් සමාගම පවසයි.

පසුගිය ජූලි 20 වැනිදා UB Finance Limited සමාගම සිදුකළ සිය මූලික මහජන කොටස් නිකුතුව යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,000,000ක් නිකුත් කෙරිණි. එහිදී කොටසක වටිනාකම රුපියල් 1ක් ලෙස මිල කෙරුණු අතර, සමස්ත මූලික මහජන කොටස් නිකුතුවෙහි වටිනාකම රුපියල් මිලියන 55ක් විය.

UB Finance Limited සමාගම මහබැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමකි. යුනියන් බැංකුව සහ එහි ජාත්‍යන්තර උපායමාර්ගික ආයෝජන හවුල්කරුවා වන ShoreCap II Ltd. සමාගම එක්ව UB Finance Limited සමාගම පිහිටුවා තිබේ.

වර්තමානයේදී UB Finance Limited සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ අතුල් මලික් (සභාපති), සබ්රි ඝවුස් (විධායක නොවන අධ්‍යක්ෂ), මයිකල් ජේ. ඔහාන්ලොන් (විධායක නොවන අධ්‍යක්ෂ), ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ (විධායක නොවන අධ්‍යක්ෂ)‍, ලිසා තෝමස් (විධායක නොවන අධ්‍යක්ෂිකා), මොහාන් බාලේන්ද්‍ර (විධායක නොවන අධ්‍යක්ෂ), ජයේන්ද්‍ර සෙතුකවලාර් (විධායක නොවන අධ්‍යක්ෂ) සහ රන්සිත් කරුණාරත්න (ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්ම මහත්මීන්ය.

Visits: 129