බෝගල ග්‍රැෆයිට් ලංකා පරිශ්‍රයේ මීටර් 124ක් ගැඹුරේ පිහිටුවුණු ආපනශාලාව

බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම (BOGA.N0000) මගින් ආරුගම්මන, බෝගල පිහිටි සිය මිනිරන් පතල තුළ පොළොව මට්ටමේ සිට මීටර් 124ක් ගැඹුරේ ආපනශාලාවක් ඉදිකර ඇතැයි පවසයි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාව තුළ වඩාත් ගැඹුරින්ම ඉදිකළ ආපනශාලාව ලෙසත් වාර්තා අතරට එක්ව තිබේ. මෙම ආපනශාලාව විවෘත කිරීම ඊයේ සිදු විය.

2000 වසරේ සිට 2022 වසර දක්වා එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජය ප්‍රසන්න මලලසේකර මහතා වෙනුවෙන් නම් කර ඇති මලලසේකර ආවාටය තුළ මෙම ආපනශාලාව පිහිටුවා තිබේ.

මෙම ආපනශාලාව තුළ එක්වරකට අමුත්තන් 15 දෙනෙකුට අසුන්ගත හැකි බව බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ආපනශාලාවක පැවතියයුතු සියලුම ගුණාත්මකභාවයන් ආරක්ෂා කරගනිමින් අලුත්ම අත්දැකීමක් ජනතාවට ලබාදීමට එම සමාගම සූදානමින් සිටියි.

එසේම පැමිණෙන පිරිස වෙත උපරිම ආරක්ෂාවක් සැලසීම සඳහාද කටයුතු යොදන බවත් සමාගම පවසයි.

මෙහිදී බෝගල ග්‍රැෆයිට් ලංකා පතල නැරඹීම සහ මෙම ආපනශාලාව වෙත පැමිණීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතුව ඇත.

මේ අතර පොළොව මට්ටමේ සිට මීටර්124ක් ගැඹූරේ පිහිටි මෙම ආපනශාලාව සඳහා වයි-ෆයි ඇතුළු සන්නිවේදන පහසුකම්ද සපයා ඇතැයිද බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම පවසයි.

Views: 147