ශ්‍රී ලංකාවේ පිහිටුවුණු පළමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කර්මාන්තශාලාව විවෘත කෙරේ

මෙරට තුළ පිහිටුවුණු පළමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් (අර්තාපල් තීරු) කර්මාන්තශාලාව බණ්ඩාරවෙල පහළ කහත්තේවෙළදී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය ලෙස පිහිටුවුණු කහත්තේවල, ජනතා ගොවි සංගමය යටතේ මෙම කර්මාන්තශාලාව ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙළ කහත්තේවෙළ ශ්‍රී සංඝරාජ පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්තශාලාව ස්ථාපිත කර ඇත. ශ්‍රී සංඝරාජ පිරිවෙන් විහාරස්ථාන පරිවේනාධිපති කහත්තේවෙළ රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට ගොවි සංවිධානය කටයුතු කර තිබේ.

මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීමට කෘෂිකර්ම සංවර්ධනය සදහා ජාත්‍යන්තර අරමුදල හා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන සහ කහත්තේවෙල ජනතා ගොවි සමාගම රුපියල් මිලියන පනහක මුදලත් වැයකර තිබේ,

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කර්මාන්තශාලාව නිල වශයෙන් විවෘත කිරීම සිදු විය.

ප්‍රදේශයේ අර්තාපල් ගොවියාට මෙම ආයතනය මගින් තම නිෂ්පාදන වලට වැඩි මිලක් ලබාදීමට කටයුතු කර තිබේ.

මෙහිදී Mr. Farmer යන සන්නාමය යටතේ අධීශීතකරණය කරන ලද අර්තාපල් තීරු (Frozen French Fries) ලෙස මෙම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරයි. ඒ අනුව මෙය අර්තාපල් සඳහා අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස හඳුන්වාදී තිබේ.

මෙතෙක් කලක් මෙරට තුළ මෙවැනි අර්තාපල් තීරු නිෂ්පාදන කර්මාන්තශාලාවක් නොතිබුණු අතර, ඒ හේතුවෙන් අර්තාපල්තීරු ආනයනය සඳහා වසරකට රුපියල් මිලියන 3500ක් පමණ වැය වූ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Visits: 184