Air India ගුවන් සේවය නව සන්නාමයක් එළිදක්වයි

ඉන්දියාවේ ටාටා සමූහයට අයත් ගුවන් සේවය වන Air India ගුවන් සමාගම නව සන්නාමයක් එළිදැක්වීමට ඊයේ (10දා) කටයුතු යොදා තිබේ. ඉන්දියානු රජය යටතේ පැවැති ගුවන් සමාගම ටාටා සමූහය මගින් මිලදී ගෙන වසර එකහාරකට පමණ පසුව මෙම සන්නාම වෙනස් කිරීම සිදුව තිබේ.

ඊයේ දිනයේදී නවදිල්ලි නුවරදී පැවැත්වුණු උත්සවයකදී ටාටා සන්ස් සමාගමේ සභාපති එන් චන්ද්‍රෂේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව සන්නාම එළිදැක්වීම සිදුව තිබේ.

මෙහිදී ඉන්දියානු ගෘහ නිර්මාණශිල්පයේ එන සුප්‍රසිද්ධ කවුලුවක රාමුවක රත්රන් පැහැය ගත් හැඩයේ කොටසක් යොදා ගනිමින් මෙම නව සන්නාමය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. ඒ අනුව මෙය ‘අවස්ථාවන් සදහා කවුළුවක්’ යන්න නිරූපණය වන බව Air India ගුවන් සමාගම පවසයි.

“එයාර් ඉන්දියා ගුවන් සේවයේ නව සන්නාමය සඳහා යොදා ගෙන තිබෙන මෙම රත්රන් පැහැය ගත් කවුළු රාමුව මගින් අසීමාන්තික අවස්ථාවන්, සාර්ථකත්වය සහ අනාගතය සඳහා වන ගුවන් සමාගමේ ස්ථිර, විශ්වාසනීය ඉදිරි දැක්ම සංකේතවත් වෙනවා.” යනුවෙන් සමාගම සඳහන් කර තිබේ.

මෙහිදී ගුවන් සමාගමේ නව ගුවන් යානාවන්හි පිටුපස පියාපත කොටස සඳහා රතු, දම් සහ රත්රන් පැහැය ගන්නා නිර්මාණයක් යොදා ගැනීමටත් සමාගම කටයුතු යොදා ඇත.

එසේම මෙම නව සන්නාමයේදී Air India යන වදන සඳහා යොදා ගෙන ඇතතේද සමාගම වෙනුවෙන්ම නිර්මාණය කෙරුණු Air India Sans අක්ෂර මෝස්තරය බවත් සමාගම පවසයි.

මෙම නව සන්නාමයද සමගින් සිය ගුවන් යානා ලබන දෙසැම්බර් මාසයේදී ගුවන් ගත කිරීම ආරම්භ කරනු ඇතැයිද සමාගම සිය සංචාරකයන් වෙත දැනුම් දී සිටියි. එහිදී ගුවන් සමාගම මගින් මිලදී ගත් නවතම A350 මාදිලියේ ගුවන් යානා සමගින් මෙම නව සන්නාමය සහ පිටුපස පියාපතේ ඇති නිර්මාණය එළිදක්වනු ඇතැයි ද සමාගම පවසයි.

පාඩු ලබමින් පැවති ගුවන් සේවයක් වූ Air India ගුවන් සමාගම 2022 වසරේදී මිලදී ගැනීමට ටාටා සමූහය පියවර ගත්තේය. Air India ගුවන් සමාගම දැනට දශක හතකට පමණ පෙරාතුව ආරම්භ කළේද ටාටා සමූහයේ මූලිකත්වයෙනි. එහෙත් පසුව එය ඉන්දියානු රජය යටතට පවරාගෙන එහි කළමනාකරණය ඉන්දියානු රජය මගින් පවත්වාගෙන යාම සිදු විය. ඒ අනුව දශක හතකට පසුව පසුගිය වසරේදී එය යළිත් ටාටා සමූහය වෙත හිමි විය.

Visits: 68