සිලෝන් ග්‍රේන් එලවේටර්ස් වෙතින් කොටසකට රුපියල් 6.00 බැගින් ලාභාංශ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම (GRAN.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 6ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 11 වැනිදා ප්‍රකාශකෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 21 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 107.00ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය හා සැසඳීමේදී රුපියල් 3ක එනම් 2.88%ක ඉහළ යාමකි.

2022 දෙසැම්බර් 31 වැනිදා වන විට සමාගමේ කොටස්හිමිකාරීත්වයෙන් කොටස් 27,270,800ක් එනම් 45.45%ක් සිංගප්පූරුවේ ප්‍රීමා ලිමිටඩ් සමාගම වෙත හිමිව තිබේ. එසේම එහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන සේවක අර්ථසාධක අරමුදල සතුව කොටස් 5,350,549ක් ඇති අතර, එය 8.92%ක ප්‍රතිශතයකි. මීට අමතරව හොංකොංහි සුප්රා ලිමිටඩ් සමාගම තෙවැනි වැඩිම කොටස් හිමිකරුවා ලෙස 8.63%ක කොටස් ප්‍රතිශතයකට හිමිකම් කියයි. එය කොටස් 5,179‍,797 ක ප්‍රමාණයකි.

Visits: 80