මුරලිදරන්ගේ සිලෝන් බෙවරේජස් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ කර්මාන්තශාලාවක් පිහිටුවීමට යයි

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් වන මුත්තයියා මුරලිදරන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක බීම නිෂ්පාදන සමාගමක් වන සිලෝන් බෙවරේජ් කෑන් පෞද්ගලික සමාගම (Ceylon Beverage Can Pvt Ltd.) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ සිය කර්මාන්තශාලාවක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි.

එම ප්‍රාන්තයේ ධාර්වාද් පළාතට ඔබ්බෙන් පිහිටි මුම්මිගාටිහිදී මෙම කර්මාන්තශාලාව පිහිටුවීම සැලසුම බව ඉන්දියාවේ ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත සිය වාර්තාවක් මගින් සඳහන් කර සිටියි.

මීට පෙර සිලෝන් බෙවරේජ් කෑන් පෞද්ගලික සමාගම මෙලෙස ඉන්දියාවේ  කර්ණාටක ප්‍රාන්තය තුළ සිය අංගසම්පූර්ණ කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඇලුමිනියම් කෑන් සහ බීම වර්ග ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාවක් ලෙස එය ඉදිකිරීම සැලසුම විය. එහිදී සිලෝන් බෙවරේජස් කෑන් සමාගම මගින් මෙම කර්මාන්තශාලාව සඳහා අක්කර 26ක භූමියක් ඉල්ලා තිබූ අතර, ඒ සඳහා වන ආයෝජනය ඉන්දියානු රුපියල් කෝටි 440ක් විය. එසේම මේ හරහා නව රැකියා අවස්ථා 500ක් උත්පාදනයත් සැලසුම බව සමාගම සඳහන් කර තිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව කර්ණාරටක කර්මාන්ත ප්‍රදේශ සංවර්ධන මණ්ඩලය මගින් සිලෝන් බෙවරේජස් කෑන් පෞද්ගලික සමාගම වෙත එම ප්‍රාන්තයේ කර්මාන්ත කලාපය තුළ අංක 156,157 සහ 158 යන භූමි ලබාදී තිබේ. එහිදී පිළීවෙලින් අක්කර  2.64ක්, අක්කර 16.70ක් සහ අක්කර 6.15ක් ලෙස එම භූමිය ලබාදී ඇත. එසේම කිලෝවොට් ඇම්පියර් 3000ක විදුලිබලයක්ද ඊට අනුමත කර ඇති අතර, දිනකට ජලය ලීටර් ලක්ෂ 20ක්ද ඊට ලබාදීමට නියමිතව තිබේ.

සිලෝන් බෙවරේජස් කැන් පෞද්ගලික සමාගම අද වනවිට එකිනෙකට වෙනස් ප්‍රමාණයන් අටකින් යුත් ඇලුමිනියම් කෑන් නිෂ්පාදනයේ යෙදී සිටියි. එහිදී එකිනෙකට වෙනස් සන්නාම සහිත නිෂ්පාදන වෙනුවෙන් මෙම කෑන් නිෂ්පාදනය කරන බව සමාගම පවසයි. විශේෂයෙන්ම ඉන්දියාව තුළ මෙවැනි කෑන් වර්ග සඳහා පවතින ඉහළ ඉල්ලුම මෙලෙස එම සමාගමේ කර්මාන්තශාලාවක් එරට තුළ පිහිටුවීමට හේතුව වී තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය මැයි මාසයේදී සිලෝන් බෙවරේජ් සමාගම ඉන්දියාවේ රිලයන්ස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සමාගම හා එක්ව එහි Campa නම් පැණි බීම පානයක් සඳහා අවශ්‍ය කෑන් නිපදවීම ආරම්භ කර තිබේ.

2020 වසරේදී හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ පිහිටි හොරණ කර්මාන්ත කලාපයේදී සිලෝන් බෙවරේජස් කෑන් පෞද්ගලික සමාගම ස්ථාපිත කිරීම සිදු විය. මෙරට ක්‍රියාත්මක පානීය ජලය, ශක්ති පාන, පැණි බීම සහ රස කළ කිරි නිෂ්පාදන සමාගම් කිහිපයක් හා එක්වෙමින් එම සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

අද වනවිට එම කර්මාන්තශාලාව සතුව පැයකට කෑන් 48,000ක් සහ බෝතල් 34,000ක් නිපදවීමේ ධාරිතාවක් පවතී. ඒ අනුව වසරකට එම කර්මාන්තශාලාව මගින් ඇලුමිනියම් කෑන් මිලියන 300ක අවශ්‍යතාවක් සැපිරීමේ හැකියාව ඇත.

Visits: 170