නෙස්ලේ ලංකා කොටස් CSE ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීමට සුරැකුම්පත් කොමිසමේ අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී (NEST.N0000) සමාගමෙහි කොටස් එම ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය ජූලි 10 වැනිදා එම සමාගම මෙම අනුමැතිය සඳහා වන අයැදුම්පත්‍රය ඉදිරිපත් කර ඇති අතර, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙලෙස ඊට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි නිල ලැයිස්තු වෙහි ඇති නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි කොටස් ඉන් ඉවත් කරගැනීම සඳහා මෙලෙස අවසරය හිමිව තිබෙන බව සමාගම පවසයි.

මෙම අනුමැතියත් සමගින්ම දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1,500ක් බැගින් ලබාදී එම කොටස් ඉවත් කරගැනීමක් සිදු කරගන්නා බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පසුගිය මැයි මාසයේ 03 වැනිදා පළමුවරට මෙලෙස සිය කොටස් කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් කරගන්නා බව ප්‍රකාශ කර සිටියේය. අනතුරුව ජූනි 30 වැනිදා පැවැත්වුණු එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම ඉවත්වීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරගත් බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙහිදී ඒ සඳහා වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම බලහත්කාරයෙන් සිදු වූ බවටද පසුව චෝදනා එල්ල විය.

Visits: 128