ඇපල් සමාගම පැවරූ බුද්ධිමය දේපළ නඩුවෙන් හැරීගේ ස්ටෙසන් සමාගම ජයගනී

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතාට අයත් අපනයන සමාගමක් වන ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගමට එරෙහිව සුප්‍රසිද්ධ ඇපල් සමාගම (Apple Inc.) පවරා තිබූ බුද්ධිමය දේපළ නඩුව අත්හැර දැමීමට කොළඹ වාණිජ මහාධිකරණය තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

එහි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් පසුගියදා මේ පිළිබඳව තීරණය ඉදිරිපත් කර තිබේ. ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් සමාගම මගින් අපනයනය කරන Stassen’s HANA TEA නම් නිෂ්පාදනයේ සන්නාමය තුළ ඇපල් ඉන්කෝපරේෂන් සමාගමේ  ඇති කොටසක් සපා කෑ ඇපල් ගෙඩියේ ලෝගෝවට සමාන රූපයක් පැවතීම සම්බන්ධයෙන් ඇපල් සමාගම මෙම නඩුව පවරා තිබුණි.

ඒ අනුව ඇපල් සමාගම මගින් 2020 වසරේදී කොළඹ වාණිජ මහාධිකරණයේ (සිවිල්) නඩු අංක 1/2020/IP යටතේ මෙම නඩුව පවරා තිබේ. එහිදී Stassen’s HANA TEA වෙළෙඳ නාමය අහෝසි කරන ලෙසද සමාගම ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම මෙම චෝදනාව සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී සිය කරුණු දැක්වීම සිදු කර අතර, එහිදී සමාගම සිය වෙළෙඳ නාමය ආහාර, පානවර්ග සහ ඉවුම්පිහුම් අමුද්‍රව්‍ය යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති බවත් පවසා තිබුණි. ඒ අනුව මෙම සන්නාමය සිය එක් තේ සන්නාමයක් සඳහා යොදා ගෙන තිබූ බවත් එම සමාගම සඳහන් කර ඇත.

මෙහිදී නඩුවේ තීන්දුව ලබාදී ඇති විනිසුරුවරයා ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම මෙම Stassen’s HANA TEA වෙළෙඳ නාමය 2013 මැයි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ලියාපදිංචි කරවූවක් වන බවත්, එය %භාණ්ඩ සහ සේවා% යටතේ ජාත්‍යන්තර වර්ගීකරණයට ලක්කර තිබෙන බවත් පෙන්වා දී ඇත.

එසේම මෙම පැමිණිකාර පාර්ශ්වය වන ඇපල් සමාගම එක්සත් ජනපදයේ සන්නිවේදන තාක්ෂණ සමාගමක් බවත්, එය කිසිදු ආකාරයක ආහාර අයිතමයක් අලෙවි කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ නොවන බවත් විනිසුරුවරයා පවසා ඇත. එසේම පැමිණිකාර පාර්ශ්වය කිසිදු ආකාරයක තේ හෝ තේ හා සම්බන්ධ නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හෝ අලෙවි කිරීම හෝ අපනයනය කිරීමක් සිදු නොකරන බවත් පවසා ඇත.

ඒ අනුව මෙම පැමිණිකාර සමාගමේ නිෂ්පාදන සමගින් හෝ අදාළ චෝදනා ලැබූ සමාගමේ නිෂ්පාදන අතර හෝ කිසිදු තරගකාරීත්වයක් හෝ අසාධාරණ තරගකාරීත්වයක් මතුව නොමැති බවත් විනිසුරුවා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙහිදී පැමිණිලිකාර ඇපල් ඉන්කෝපරේෂන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ හර්ෂ කබ්රාල් සහ නිෂාන් ප්‍රෙමතිරත්න යන දෙපළ ඉදිරිපත්ව ඇත. එහිදී ජුලියස් ඇන්ඩ් ක්‍රීසි සමාගම මෙහි නීති උපදේශකවරුන් ලෙස කටයුතු කර ඇත. එසේම ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු සහ හර්ෂුලා සෙනෙවිරත්න යන දෙපළ ඉදිරිපත්ව ඇති අතර, එහිදී උපේන්ද්‍ර ගුණසේකර නීතීඥ සමාගම උපදේශකවරුන් ලෙස කටයුතු කර ඇත.

Visits: 509