බැංකු පොළිය තවත් අඩු කිරීමට මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයත් 2% කින් පහත හෙළයි

බලපත්‍රලාභී වාණිජ බැංකු සතු සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අගෝස්තු 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 4% සිට 2% දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

පසුගිය අගෝස්තු 08 වැනිදා රැස්වුණු මහ බැංකු මුදල් මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළෙඳ පොළ ද්‍රවශීලතා හිඟය ස්ථිරව තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි මහ බැංකුව පවසයි.

මෙලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම මගින් දේශීය මුදල් වෙළෙඳ පොළ වෙත රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

මේ හරහා වාණිජබැංකුවල අරමුදල් පිරිවැය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ පොළ ණය පොළී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහන ප්‍රසාරණය කිරීමටත් හැකිවනු ඇති බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව ගනුදෙනු කරුවන්ට ලබාදීම සිදුවිය යුත් බවත්, එහිදී වෙළෙඳ පොළ ණය අනුපාතික අඩුවීමේ සීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Views: 129