කොළඹ කොටස් හුවමාරුව තුළ මාස 08කට පසුව වැඩිම විදේශ මුදල් ගලා ඒමක් වාර්තා කරයි

අද (03දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 11.582.34ක් ලෙස සටහන් විය. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 135.51ක් එනම් 1.18%ක ඉහළ යාමකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) දර්ශකයත් දිනය නිමාවේදී ඒකක 3,389.67ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 68.61ක් එනම් 2.07%ක ඉහළ යාමක් සටහන් කර තිබේ.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.61ක් (6,619,189,478.75ක්) ලෙස සටහන් විය. මෙය පසුගිය ජූලි 28 වැනිදායින් පසුව වාර්තා වූ ඉහළම පිරිවැටුමද වෙයි.

මෙහිදී මූලිකවම බැංකු සහ සංචාරක අංශයේ සමාගම්වල කැපී පෙනෙනු වටිනාකම් ඉහළ යාම් මේ සඳහා හේතුව වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. ඒ අනුව බැංකු ක්ෂෞත්‍රය තුළ රුපියල් බිලියන 3.2ක පිරිවැටුමක් සටහන්ව තිබේ.

මේ අතර අද දිනයේ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 1.5ක (1,509,125,470ක්) විදේශ මුදල් ගලා ඒමක් සටන්වීමද කැපී පෙනෙන අවස්ථාවක් වී තිබේ. මෙය 2022 වසරේ දෙසැම්බර් 20 වැනිදායින් පසු මාස අටකට පසුව වාර්තා කළ ඉහළම විදේශ මුදල් ගලා ඒම ලෙසද සැලකෙයි.

මෙහිදී විදේශ මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් 1,774,532,224ක් ලෙස සටහන්වූ අතර, විදේශ අලෙවිය රුපියල් 265,406,754ක් ලෙස සටහන්ව තිබේ.

මෙම විදේශීය මිලදී ගැනීම් යටතේ වැඩිම විදේශ මුදල් ගලා ඒම NDB බැංකුව වෙත ලැබී තිබේ. එය රුපියල් මිලියන 547ක් (547,766,718ක්) ලෙස සටහන්ව ඇත. එසේම වැඩිම කොටස් මිලදී ගැනීම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (BIL.N0000) තුළ සිදුව තිබේ. එය කොටස් 11,466,175ක් ලෙස සටහන්ව ඇත.

Visits: 177