ත්‍රිකුණාමලය ‘ශ්‍රී ලකාවේ නැගෙනහිර දොරටුව‘ බවට පත් කරන සිංගප්පූරු සැලසුම

සිංගප්පූරුවේ ක්‍රියාත්මක නගර සැලසුම් සමාගමක් වන සුරාබනා ජුරොන්ග් (Surabana Jurong) මගින් ත්‍රිකුණාමලය නගරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව බවට පත් කිරීම සඳහා වන සැලසුමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

ත්‍රිකුණාමලය නගරය හා සිදු කෙරෙන කලාපීය සම්බන්ධතා, තිරසාරත්වය සහ ආර්ථික ජීවතාව පිහිටුවීම අරමුණු කරගනිමින් මෙම සැලසුම ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වෙයි.

පසුගියදා කොළඹදී පැවැති ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සුරබානා ජුරොන්ග් සමාගම වෙත ලබාදී ඇති මෙම සැලසුම් ව්‍යාපෘතිය පිළිබඳවද අනාවරණය කළේය.

මෙම සුරාබානා ජුරොන්ග් සමාගමේ වෙබ් අඩවියට අනුව අදාළ ව්‍යාපෘතිය හරහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ප්‍රත්‍යස්ත ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සැලසුම වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර නගර වෙත අනන්‍ය වූ නාගරික ලක්ෂණයන් සහිතව එය සිදු කරන බවත් සඳහන් වෙයි.

“බෙංගාල බොක්ක ආශ්‍රිතව උපායමාර්ගික ස්ථානයක පිහිටි ත්‍රිකුණාමලය තුළ වර්ගකිලෝමීටර් 2,727ක භූමියක් මෙලෙස සංචාරක, අපනයන සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතාවන් වෙනුවෙන් අවශ්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙනවා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

මෙහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම් සංකල්පය ඉදිරිපත් කිරීම එම සමාගම වෙත පැවරී ඇති වගකීම වෙයි. එහිදී නිර්මාණාත්මක, ප්‍රවාහන, යටිතල පහසුකම්, පාරිසරික යන කරුණු ඇතුළත්ව අනාගත නාගරික ප්‍රදේශ පිහිටුවීම සහ යෝජනා ඉදිරිපත් කිරීමත් ඊට ඇතුළත් වෙයි.

“මෙම සැලසුම මගින් සුරාබානා ජුරොන්ග් සමාගම මෙම ව්‍යාපෘතියේ තිරසාරභාවය පිළිබඳ අභියෝගයන් වෙත වගේම ත්‍රිකුණාමලය වඩාත් හොඳ ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීමේ රජයේ අවශ්‍යතාවත් වෙත වඩාත් සාර්ථකව පිළිතුරු ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා.” යනුවෙන්ද එම සමාගම පවසයි.

Views: 165