සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී වෙතින් කොටසකට ශත 65 ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම (SFCL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 65ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 06 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 16 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇතැයි සමාගම පවසයි.

ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන බවත් සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 328.50ක් ලෙස සටහන් විය. එය පෙර දිනයට සාපේක්ෂව රුපියල් 3.25කින් එනම් 1%කින් ඉහළ යාමකි.

මේ අතර අද දිනයේදී නිකුත් කෙරුණු එම සමාගමේ 2022/23 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව සමාගමේ කොටස් අතරින් 44,781,393ක් එනම් 51.90%ක හිමිකාරීත්වය ඇත්තේ ඊ.ඩබ්ලිව් බාලසූරිය සහ සමාගම වෙතයි. මෙහිදී සමාගමේ මහජන කොටස්හිමිකාරීත්වය 21.42%ක් වන අතර, කොටස් හිමිකරුවන් 186 දෙනෙකු අතර පමණක් බෙදී ගොස් තිබේ.

Visits: 90