ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනයේ පුරෝකතනය පහත හෙළයි

2023 සහ 2024 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනයේ පුරෝකතනය පිළීවෙලින් 3%ක අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. එම අරමුදල මගින් ඊයේ (25දා) නිකුත් කළ ලෝක ආර්ථික පෙරදැක්මේ යාවත්කාලීන වාර්තාව (World Economic Outlook) එළිදක්වමින් එම අරමුදල මේ බව සඳහන් කර සිටියි.

මෙය 2022 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය ලෙස ඇස්තමේන්තු කරන ලද 3.5% හා සැසඳීමේදී යම් පසුබැසීමක් බවද එම අරමුදල පවසයි. කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු ලෝක ආර්ථික පෙරදැක්ම වාර්තාවේ පුරෝකතනය කළ ආකාරයට වඩා මෙම ආර්ථික වර්ධනය ඉහළ අගයක් ගන්නා බවත් එම අරමුදල සඳහන් කරයි.

විශේෂයෙන්ම ගෝලීයව ඉහළ යන උද්ධමනයත් සමගින්ම මහ බැංකු විසින් සිය ප්‍රතිපත්ති පොළී අනුපාතයන්හි තවදුරටත් සිදුවන ඉහළ දැමීම් ගෝලීයව සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් වෙත බලපෑම් එල්ල කිරීම මීට හේතුව වී තිබේ.

මේ අතර 2022 වසරේදී වාර්තා වූ 8.7%ක ගෝලීය උද්ධමනය 2023 වසරේදී 6.8%ක අගයකටත් 2024දී 5.2%ක අගයකටත් පත් වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම පුරෝකතනයට අනුව සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවල ආර්ථික වර්ධනය 2023  දී 1.5% ක අගයක්ද 2024 දී 1.4%ක අගයක්ද ගනු ඇතැයි සඳහන් වෙයි. එසේම නැගී එන වෙළෙඳ පොළ හ සංවර්ධනය යෙමින් පවතින ආර්ථිකයන්හිදී එය 2023 දී 4.0%ක් ලෙසත් 2024දී 4.1%ක් ලෙසත් පුරෝකතනය කෙරී තිබේ.

මීට අමතරව  2023 වසරේදී එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය 1.8%ක් වනු ඇති බවත්, 2024 දී එය 1.0%ක් වනු ඇති බවත් සඳහන් වෙයි. එසේම නැගීඑන සහ සංවර්ධනය වෙමින් පවතින ආසියාව තුළ 2023 දී ආර්ථිකවර්ධන වේගය 5.3%ක් වනු ඇති බවත් 2024 දී එය 5.0%ක අගයක් ගනු ඇති බවත් පැවසෙයි.

Views: 53