හේලීස් සමූහයේ Unisyst Engineering PLC සමාගම  CSE හි ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Unisyst Engineering PLC සමාගම (ALUF.N0000) එම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව පවසයි.

ඊයේ දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මේ පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව දැනටම එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ඉවත් කරගැනීමක් සිදු කරන බව පවසයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය මෙන්ම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවිය යුතුව ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති කොටස් Unisyst Engineering PLC සමාගමෙහි වැඩිම කොටස් හිමිකරුවා වන Advantis Projects and Engineering (පෞද්) සමාගම මගින් මිලදී ගැනීමක් සිදු කරනු ඇති බවත් එම සමාගම පවසා සිටියි.

Unisyst Engineering PLC සමාගම සුප්‍රකට හේලීස් සමූහයට අනුබද්ධ සමාගමකි.

2023 මාර්තු 31 වැනිදා වනවිට Unisyst Engineering PLC සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 28,739,393ක් එනම් 65.15%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ Advantis Projects and Engineering (පෞද්) සමාගම වෙතයි. එසේම ලංකා බැංකුවෙහි ගිණුම් 01 එක සතුව කොටස් 1,673,758ක් එනම් 3.79%ක ප්‍රතිශතයක් හිමිය.

මෙහිදී ප්‍රධාන කොටස් හිමිකරුට අමතරව සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වය 34.78% ක ප්‍රතිශතයකි. එහිදී කොටස් හිමිකරුවන් 1,626ක් අතර එය බෙදී ගොස් තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී Unisyst Engineering PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 5.80ක් ලෙස සටහන් විය.

මේ අතර අද දිනයේ සිට Unisyst Engineering PLC සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට කටයුතු කළ බවද කොළඹ කොටස් හුවමාරුව පවසයි.

Visits: 221