සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද පෙරවරුවේදී ඒකක 11,007.12ක් බවට පත්විය. ගනුදෙනු ආරම්භ වී පළමු පැය තුළදී මෙම කඩඉම පසු කිරිම සුවිශේෂී විය.

මෙහිදී එම දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 79.83කින් එනම් 0.73%කින් ඉහළ යාමත් සමගින්ම මෙම අවස්ථාව සටහන්ව තිබේ.

ඊයේ දිනයේ නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,930.70ක් බවට පත්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 134.63කින් එනම් 1.25%කින් ඉහළ යාම සිදුවිය.

මේ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකයද පළමු පැය තුළදී ඒකක 3,206.18ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 21.64 ක එනම් 0.68%ක ඉහළ යාමකි.

මෙහිදී අද දිනයේ පළමු පැය තුළ කොළඹ කොටස් හුවමාරුව තුළ සමස්ත කොටස් 38,964,042ක් ගනුදෙනුවී ඇති අතර, එහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් (1,121,602,280.75ක්) ලෙස සටහන් විය.

Visits: 117