රොහාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවතට

රජයට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

අද පෙරවරුවේදී පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.

කෙසේ වෙතත් මෙය අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් හරහා තමන් ධුරයෙන් ඉවත් කිරීමේ අවස්ථාවක් ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

මෙහිදී ටෙලිකොම් සමාගමේ කොටස් හිමිකාරීත්වය සහිත මැලේසියානු සමාගමෙහි වුවමනාව අනුව මෙලෙස තමාව සභාපති ධුරයෙන් ඉවත් කළ බවද ඔහු පවසයි.

ඒ අනුව අද පෙරවරුවේදී පැවැති අධ්‍යක්ෂ මණ්ඩල හමුවට සහභාගි වූ සාමාජිකයන් 10 දෙනාගේ වැඩි ඡන්දයෙන් ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්මත වී තිබේ.

මේ අතරින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු රජයට අයත් කොටස් නියෝජනයකරමින් පත් කර තිබෙන බවත්, අනෙක් හතර දෙනා මැලේසියානු සමාගම නියෝජනය කරමින් පත් කර තිබෙන බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.

“සාමාන්‍යයෙන් මේ පැත්තේ ඉන් දෙන්නෙක් අනෙක් පැත්තට ගිහිල්ලා ඕනම යෝජනාවක් සම්මත කරගන්න පුළුවන්. ඒක තමයි අද වුණේ. එතැනදී රජයේ කොටස් සඳහා පත් කළ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයන් දෙදෙනකුත් මැලේසියානු කොටස් හිමිකරුවන්ගේ කැමැත්තට අනුමැතිය ලබාදී තිබෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා තමන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අලෙවි කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක් වූ පුද්ගලයෙකු වූ බවත්, ඒ අනුව තමන් ඒ සඳහා බාධයක් ලෙස සලකා ධුරයෙන් ඉවත් කරන්නට ඇති බවත් ඒ මහතා පවසයි.

“මම කවදාවත් ටෙලිකොම් ආයතනය විකුණන්න පුළුවන්ද බැරිද කියන දේ ගැන කතා කරලා නැහැ. මොකද මේක කොළඹ කොටස් වෙළෙඳ පොළේ ස්ථාපිත සමාගමක්. ඕනැම කෙනෙකුට කොටස් වෙළෙඳ පොළ හරහා තමන්ගේ කොටස් අලෙවි කරන්න පුළුවන්.”

රොහාන් ප්‍රනාන්දු මහතා ටෙලිකොම් සභාපතිවරයා ලෙස පත් කෙරුණේ 2020 ජනවාරි මාසයේදීය. හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ නම් කිරීමක් ලෙස ප්‍රනාන්දු මහතා එම ධුරයට පත් කෙරිණි.

ටෙලිකොම් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ රොහාන් ප්‍රනාන්දු (හිටපු සමූහ සභාපති/අධ්‍යක්ෂ),  ලලිත් සෙනෙවිරත්න (අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), ලෝරන්ස් පරාට්ස්, චාන් චී බෙන්ග්, ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන්, රංජිත් ගංගානාත් රූබසිංහ, උදය කුමාර් කේ. විවේකානන්ද, කේ.ඒ. විමලේන්තිරාජා, සුරේන් අමරසේකර, රෙයාස් මිහුලාර් (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන්)

Visits: 115