2023 පළමු කාර්තුවේදී මෙරටට ඩොලර් මිලියන 211ක් වටිනා ආයෝජන ලැබිලා

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලැබී ඇති ස්ථිර ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 211ක් බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එසේම මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එසේම මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

“මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බැලීමට අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධානීන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ආයෝජකයන්ට කෙටි, මධ්‍ය හා දිගු කාලීන විසඳුම් ලබා දීමද මෙයින් අපේක්ෂා කරනවා. ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමත් මෙම කමිටු හරහා සිදු කෙරෙනවා.”

මේ අතර පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා තිබූ ආයෝජන ව්‍යාපෘති 73න් 70ක් මේ වන විටත් යළි ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

Visits: 36