OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලය එක් වී දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් පුහුණුව අරඹයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි.

මෙම අවබෝධතා ගිවිසුම, මෙරට තුළ දත්ත හා උසස් විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කරමින් එම ක්ෂේත්‍රය තුළ දක්ෂ වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට මහෝපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ දත්ත විශ්ලේෂණය සම්බන්ධ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් වශයෙන්, මේ ආකාරයට රටේ උසස් අධ්‍යාපන ආයතන සමග සමීප සම්බන්ධතා ගොඩ නංවා ගැනීම අතිශයින් වැදගත් බව OCTAVE විශ්වාස කරයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන මහතා සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා අතර මෙම එකඟතාව අත්සන් තැබුණි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසී ය. “තාක්ෂණයේ සහ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ දියුණුවට සමගාමීව, එම ක්ෂේත්‍රය තුළ පවතින නවීනතම දැනුම අනාගත පරපුර වෙත නොපමාව ලබාදීමට අප පියවර ගත යුතුයි. මොරටුව විශ්ව විද්‍යාලය සමග ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය, මෙරට විශ්ව විද්‍යාල ජාලය තුළ සිටින අනාගත වෘත්තිකයන් සමග සමීප සම්බන්ධතා ගොඩ නංවා ගැනීමේ ක්‍රමෝපායික උත්සාහයේ කොටසක් වන අතරම, ශ්‍රී ලංකාවේ උසස් විශ්ලේෂණ ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අප සතු දැක්මෙහි තවත් ඉදිරි පියවරක් ද වනවා. ක්ෂේත්‍රය සම්බන්ධයෙන් OCTAVE සතු පළපුරුද්ද සහ මොරටුව විශ්ව විද්‍යාලය සතු දැනුම එක්තැන් කිරීම මගින් අපට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම හා පළපුරුද්ද වර්ධනය කරමින් සාර්ථක වෘත්තිකයන් බිහි කිරීමටත්, නවෝත්පාදනය උදෙසා මං පෙත් විවර කිරීමටත් හැකියාව ලැබේවි.”

මෙම හවුල්කාරීත්වයේ එක් පියවරක් වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සීමාවාසික පුහුණු අවස්ථා යටතේ OCTAVE හි වෘත්තිකයන් සමග එක්ව කටයුතු කරමින්, Data Science, Machine Learning Engineering, Data Engineering, BI Engineering සහ Delivery of advanced analytics use cases යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් දැනුමක් හා පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. එමෙන්ම මොරටුව විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන රැකියා ප්‍රදර්ශනවලට ද OCTAVE දායක වන නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය සහ එහි පවතින රැකියා අවස්ථාවන් පිළිබඳව පුළුල් මට්ටමින් තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබේ.

මීට අමතරව මෙම ගිවිසුම යටතේ Data Science, Machine Learning Engineering සහ Data Engineering යනාදී අංශයන් සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලාවල විෂය පථයන් තවදුරටත් පුළුල් කිරීමට ද OCTAVE දායක වනු ඇති අතර, OCTAVE හි ප්‍රවීණ වෘත්තිකයන් මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලාවල ආරාධිත දේශකවරුන් ලෙස සහ එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවසන් වසර ව්‍යාපෘතිවල අධීක්ෂකවරුන් ලෙස ද කටයුතු කරනු ඇත.

“මෙම ගිවිසුම තුළින් උදාවන අවස්ථාවන් දෙස අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා. OCTAVE සමග සමීපව කටයුතු කිරීම මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ක්ෂේත්‍රය තුළ වටිනා අත්දැකීම් රාශියක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය අතර පවතින පරතරයන් අවම කිරීමට එය උපකාරී වේවි. මෙවැනි අර්ථවත් පියවර ඔස්සේ ශ්‍රී ලංකාවේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ දියුණුවට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්.”  මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන මහතා පැවසී ය.

OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලය අතර ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය, නව පරපුරේ දත්ත හා උසස්  විශ්ලේෂණ වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා දියත් කළ අතිශය වැදගත් සාමූහික ප්‍රයත්නයකි. මේ ඔස්සේ එම ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කරමින්, නවෝත්පාදනය සහ සමාජ-ආර්ථික සංවර්ධනය දිරි ගැන්වීමට දෙපාර්ශ්වය බලාපොරොත්තු වෙයි.

Visits: 44