“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණෙය්දී බැංකු ආරක්ෂා කරමින්, EPF සඳහා හොඳම විසඳුම ලබා දෙනවා” – මහ බැංකු අධිපති

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත්, මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ බැංකු ක්ෂේත්‍රයේ බිඳවැටීමක් සිදුවුවහොත් ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බැවින් බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර ජූනි මස 30 වන සිකුරාදා (අද) බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙන තුරු සම්ප්‍රේක්ෂණය වැළැක්වීම සඳහා බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියි.

එසේම දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සේවක අර්ථසාධක අරමුදල සඳහා අවම වශයෙන් 9%ක පොලියක් සහතික කරන බවද පැවසීය.

මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, “බැංකු පද්ධතියෙන් රජයේ ණයබර අඩු කිරීමට දැනටමත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස බැංකුවලින් දැනට ගෙවන බදු ප්‍රමාණය 50% ටත් වැඩියි. සමාගම් බදු 30%යි, වැට් සහ මූල්‍ය සේවා 18%යි, සමාජ ආරක්ෂණ දායකත්වය 2.5%යි වශයෙන් එය පෙන්වා දිය හැකියි.

මේ අනුව දැනටමත් බැංකු ලබන ආදායමෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවමින් රජයට දායකත්වය ලබා දෙනවා. ඊට සාපේක්ෂව බැලුවොත් (superannuation fund) මගින් බදු ලෙස අයකරන්නේ 14% යි. එය අඩු බදු අනුපාතයක්.

ඒ අනුවම බැලුවම පළවෙනි කාරණය සඳහා බැංකු පද්ධතිය දැනටමත් දායකත්වයක් ලබා දෙනවා. දෙවනි කාරණය බැංකු පද්ධතිය පසුගිය කාලය තුළ රටේ ආර්ථිකයේ සිදු වූ ණය ගෙවීමේ අපහසුතා සහ ලබා දුන් සහන කාල සීමා අනුව දැනටමත් ණය නොගෙවීම නිසා සිදු වූ පාඩු ට්‍රිලියන එකකට ආසන්න වෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලයේ ට්‍රිලියන 1.6ක් වගේ වටිනාකමින් යුත් සහන කාල සීමා ලබා දී තිබෙනවා. ඒ අනුව බැංකු පද්ධතිය මේ තුළිනුත් දැනටමත් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා.

ඒ නිසා බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ තැන්පත්කරුවන් ගේ මුදල්වලට හානියක් නොවී ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා තමයි අප ‍යෝජනා කළේ බැංකු පද්ධතියට තව දුරටත් බරක් පැටවීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන් බදුවලින් ආර්ථිකයටත් භාණ්ඩාගාරයටත් විශාල දායකත්වයක් සපයා දී තිබෙනවා.

බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.

ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.

ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියළු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා.

ඒවාට 2025 වෙනකම්ම 12%ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට 9%ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම. ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස 9% ක පොලියක් රජය විසින් සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට.

මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ සෙනෙවිරත්න යන මහත්වරුන්ද මෙම හමුවට සහභාගී වී සිටියහ.

Visits: 60