නවීකරණය කෙරුනු 80 Club සමාජශාලාව විවෘත කෙරේ

කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි. “එයිටි ක්ලබ්” (80 CLUB) සමාජ ශාලාව නවීකරණයට ලක් කිරීමෙන් අනතුරුව යළි විවෘත කිරීම පසුගියදා සිදු විය. මෙම නවීකරණ කටයුතු සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 411කි.

“එයිටි ක්ලබ්” යනු කොළඹ පැරණිතම සමාජ ශාලාවකි. මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” නමින් හැඳින්වේ.

පසුකලෙක එය මෙලෙස කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත කර තිබේ. 2020 වසරේදී මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණි.

ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව මෙය යළි විවෘත කෙරුණේ  2021 වසරේදීය. නව අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමරය ඇතුළු නවීනතම එකතු කිරීම් හරහා වර්තමානය වන විට අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ.

නාගරික සංවර්ධන අධිකායේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ අවස්ථාව සංවිධානය කර තිබුණි.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකායේ සභාපති නිමේෂ් හේරත් මහතා, “ නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල දියුණු කළ හැකි අත්හැර දමා තිබෙන ඉඩම් වල සංඝනනයක් සිදු කළා. ඉඩම් 35ක් 40ක් ප්‍රමාණයක් හදුනාගෙන අපි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. අපි මේ ඉන්න 80 ක්ලබ් පරිශ්‍රයත් එසේ හඳුනාගන්නා ලද ප්‍රාදේශීය ලේකම් යටතේ පැවැති රජය සතු ඉඩම්වලින් එකක්. මෙය පෞරාණික වටිනාකමක් තිබෙන ගොඩනැගිල්ලක්. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අංශය විසින් මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා.

නාගරික සංවර්ධන අධිකාරියේ මිලියන 411 ක මුදලක් වියදම් කරලා 80 ක්ලබ් පරිශ්‍රය නවීකරණය කළා. මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනකොට මේවා දියුණු කරලා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා බැහැර කරන්න ඕනි කියලා අපිට උපදෙස් ලබා දුන්නා. ආයෝජන ඉඩම් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේවා අදුනාගෙන සංවර්ධනය කරගෙන ගියා. කොවිඩ් 19 ව්‍යාපෘතිය හා ආර්ථික අර්බුද හමුවේ මීට පෙර මෙය මහජනතාවගේ පාවිච්චිය සදහා විවෘත කර තිබුණේ නෑ. මෙය උසස් ගණයේ හොටලයක් විදියට මහජනතාව අතරට පත් කරනවා.” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී “එයිටි ක්ලබ්” දිගු කාලීන බදු පදනම මත අයෝජකයෙකුට ලබාදීම නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම වී තිබේ. මෙම එයිටි ක්ලබ් වෙත ආහාර පාන ඇතුළු සියළු දේ සැපයීම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති වෝටර්ස් එජ් හෝටලය මගින් සිදු කෙරේ.

Visits: 143