හේමාස් හෝල්ඩිංග්ස් සමාගම ඇට්ලස් ඇක්සිලියා සමාගමේ පූර්ණ හිමිකාරීත්වය අත්කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (HHL.N0000)මෙරට ප්‍රමුඛ පෙළේ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් ඇක්සිලියා පෞද්ගලික සමාගමේ (Atlas Axillia Company (Private) Limited) තවත් 24.9%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් බව පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී නිමල් අනුරුද්ධ මදනායක මහතාට අයත්ව තිබූ ඇට්ලස් ඇක්සිලියා පෞද්ගලික සමාගමේ කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කටයුතු යොදා තිබේ. සිදු වුණු ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 3.4 කි.

ඒ අනුව මෙම අත්පත් කර ගැනීමත් සමගින්ම ඇට්ලස් ඇක්සිලියා පෞද්ගලික සමාගම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්ව ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

මීට පෙර 2018 වසරේදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් ඇට්ලස් ඇක්සිලියා පෞද්ගලික සමාගමේ 75.1%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට කටයුතු යෙදීය.

Visits: 281