“ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 31%ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා” – LIRNEasia පවසයි

දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රී ලාංකික ජනගහනය ආසන්න වසර 04 තුළ තුළදී තවත් මිලියන 4කින් ඉහළ ගොස් ඇතැයි LIRNEasia ආයතනය පවසයි.

ඒ අනුව 2019 වසරේදී මෙරටතුළ දරිද්‍රතාවයෙන් පෙළුනු ජනගහනය මිලියන 3ක් වූ බවත්, එය 2023 වසර වන විට මිලියන 7ක් බවට පත්ව ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි. මෙය සමස්ත ජනගහනයෙන් 31%ක ප්‍රතිශතයකි.

ආසියා පැසිපික් කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia ආයතනය Social Safety Nets and the State of Poverty in Sri Lanka නමින් සිදුකළ සමීක්ෂණයක වාර්තාවත එළිදක්වමින් පසුගියදා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කිරිමට එම ආයතනය කටයුතු කර තිබේ.

එම සමීක්ෂණයට අනුව මෙම දරිද්‍රතා රේඛාවට පහළින් ජිවත්වන ජනගහනයෙන් 81% ක්ම ග්‍රාමීය ප්‍රදේශ ජීවත් වන බව හඳුනාගෙන තිබේ. එසේම නාගරික දරිද්‍රතාවය 10%ක් ලෙසත් වතු ආශ්‍රිත දරිද්‍රතාවය 9%ක් ලෙසත් සටහන්ව තිබේ. මේ අතරින් වතු ප්‍රජාව තුළ දරිද්‍රතාවය දරුණු වී ඇති අතර, ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් තවදුරටත් දරිද්‍රතාවයේ පෙළෙන බවත් සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නිවාස අතරින් 33%කින් ආහාර අනුභව කිරීම අඩු කර ඇතැයිද මෙම සමීක්ෂණය මගින් අනාවරණය කර සිටියි. එසේම නිවාසවලින් 27%ක වැඩිහිටියන් තම දරුවන්ට ආහාර ලබා දීම සඳහා තමන්ගේ ආහාර පරිභෝජනය සීමා කර ඇති බවත් මෙහිදී හෙලිදරව් වී තිබේ.

විශේෂයෙන්ම පවතින සමාජ ආධාර වැඩසටහන් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළගාවීමට අපොහොසත්වීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව මෙම සමීක්ෂණය මගින් හෙළිදරව් කර සිටියි.

උදාහරණ ලෙස දුප්පත්කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර, ධනවත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 4%ක් සමෘද්ධිය ලබන බවත් LIRNasia ආයතනය පවසයි.

මෙම සමීක්ෂණය ශ්‍රී ලංකාව නියෝජනය වන පරිද්දෙන් නිවාස 10,000කට වැඩි සාම්පලයක් ඇසුරින් සිදු කර තිබේ. 2022 ඔක්තෝබර් සහ 2023 මාර්තු යන කාලය අතර ග්‍රාම නිලධාරී 400ක් පුරා මෙම සමීක්ෂණය පවත්වා තිබේ. එහිදී දිස්ත්‍රික්ක 13ක් පුරා පුද්ගලයන් 400කට සංඛ්‍යාවකගෙන් ලබා ගත් තොරතුරු මෙම සමීක්ෂණයට ඇතුළත්ව තිබේ.

Visits: 315