ඇමෙරිකාවේ RM Parks සමාගමත් සමග Shell යළිත් ලංකාවට එයි

සුප්‍රසිද්ධ බහුජාතික ඉන්ධන සමාගමක් වන Shell PLC සමාගමේ සන්නාමය යටතේ මෙරට තුළ ඉන්ධන පිරවුම් හල් 200ක් පිහිටුවීමට අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසයි.

එක්සත් ජනපදයේ පිහිටි ඉන්ධන සමාගමක් වන RM Parks සමාගම Shell PLC සමාගම හා ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙලෙසශ්‍රී ලංකාව තුළඑම මෙහෙයුම්සිදු කෙරෙන බව සඳහන් වෙයි.

ඒ සඳහා වන එකගතාවට අත්සන් තැබීම RM Parks සමාගමේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජය අතර ඊයේ (08දා) දිනයේදී ජනාධිපති මන්දිරයේදී සිදුව තිබේ.

ඒ අනුව මෙරට දේශීය වෙළෙඳපොළ වෙත ඇතුළු වන සිව්වැනි ඉන්ධන සැපයුම්කරුවා ලෙස RM Parks සමාගම කටයුතු කරනු ඇති බවත් රජය සඳහන් කරයි. එහිදී Shell සන්නාමය යටතේ එම සමාගම මෙරට තුළ සිය මෙහෙයුම් සිදු කරයි.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු ඔයිල්සමාගම මෙරට තුළ ඉන්ධන අලෙවිය සිදු කරමින් සිටියි. මීට අමතරව චීනයේ සයිනොපෙක් සමාගම වෙත පසුගියදා ඊට අදාළ අනුමැතිය හිමි විය.

මෙම නව එකඟතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම එකඟතාව යටතේ RM Parks සමාගම සමගින් ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 20ක ගිවිසුමකට එළැඹුණු බව පවසා සිටියේය.

ඒ අනුව මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් 150ක් Shell සන්නාමය යටතේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව තිබේ. එසේම ඉදිරියේදී දිවයින පුරා තවත්නව ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමටත් මෙහිදී අනුමැතිය ලබා දී ඇත.

මීට අමතරව ඉදිරියේදී RM Parks සමාගම Shell PLC සමාගම හා එක්ව සිය ඉන්ධන පිරවුම්හල් නව ස්වයංක්‍රීය ඩිස්පෙන්සර, විදුලි වාහන බැටරි ආරෝපණ ස්ථාන, කුඩා අලෙවිසැල් සහ ආපනශාලා යනාදියෙන් යාවත්කාලීන කරනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Shell PLC සමාගම මීට පෙරද ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගිය සමාගමකි. ඒ යටතේ ක්‍රියාත්මක වූ Shell Gas Lanka සමාගම හරහා මෙරට තුළ LP ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුකළ අතර, 2010 වසරේදී එම සමාගම මෙරට තුළ සිය ව්‍යාපාර කටයුතු අත්හැර දැමීමට තීරණය කළේය. ඒ අනුව එම සමාගමේ ඉතිරි කොටස්ද මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ අතර, 100%ක් රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම බිහි වූයේ ඉන් අනතුරුවයි.

Visits: 131