මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත 2.50%කින් පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරමින් ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් ඒකක 250කින් (2.50%කින්) පහත හෙළීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඊයේ (ජූනි 31දා) රැස් වුණු මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතිකය මෙතෙක් පැවැති 15.50% සිට 13.00%ක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.50% සිට 14%ක් දක්වාත් පහත වැටී තිබේ.

විශේෂයෙන්ම බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයකින් උද්ධමනය පහත වැටෙමින් පැවතීම මෙලෙස පොළී අනුපාත පහත හෙළීමේ මුදල් මණ්ඩල තීරණයට හේතු වූ බව මහ බැංකුව පවසයි. එසේම ඉදිරියේදී උද්ධමන පීඩනය තවදුරටත් ලිහිල් වෙමින් පවතින බවත්, ඒ හරහා උද්ධමන අපේක්ෂාවන් වෙත ළගා වීමට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර මෙලෙස මුදල් ප්‍රතිපත්තියේ සිදුකළ ලිහිල් කිරිමත් සමගින්ම එය ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා දායකත්වයක් ලබා දෙනු ඇති බවත්,  ඒ සමගින්ම මූල්‍ය වෙළෙඳ පොළ තුල පවතින පීඩනය ලිහිල් වනු ඇති බවත් මහ බැංකුව පවසා සිටියි.

Visits: 98