Exterminators PLC බ්‍රිතාන්‍ය තුළ රුපියල් මිලියන 27.5ක් ආයෝජනය කිරීමට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Exterminators PLC සමාගම (EXT.N0000) බ්‍රිතාන්‍යයේ ස්ථාපිත Sentario UK Limited නම් සමාගම තුළ බ්‍රිතාන්‍ය පවුම් 75,000ක මුදලක් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව පවසයි.

මෙය ශ්‍රී ලංකා රුපියල් මුදලින් රුපියල්  27,538,453ක්  එනම් රුපියල් මිලියන 27.5 කි. මෙම ආයෝජනය හරහා Exterminators PLC සමාගම වෙත Sentario UK Limited සමාගමෙහි 30%ක කොටස් හිමිකාරීත්වයක් හිමිවන බවත් සඳහන් වෙයි.

ඊයේ දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුවත් කර තිබේ.

සමාගම පෙන්වා දෙන ආකාරයට මෙම ආයෝජනය අදාළ නිවේදනය සිදු කර මාස 12ක කාලයක් ඇතුළතදී සිදු කෙරෙනු ඇති බවත් සඳහන් වෙයි.

එසේම මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අනුමැතියද අවශ්‍යව ඇතැයි Exterminators PLC සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර එම සමාගම පෙන්වා දෙන ආකාරයට අදාළ ආයෝජනයේ සමස්ත වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 325,000ක් වෙයි. ඒ අනුව ඉතිරි පවුම් 250,000 ක මුදල Exterminators PLC සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඩෙන්හැම් මාර්ලන් ෆෙරෙයිරා මහතා විසින් සිදු කරනු ඇතැයිද වැඩිදුරටත් සඳහන්ව තිබේ.

මෙම Sentario UK Limited වෙත සිදු කරන යෝජිත ආයෝජනය හරහා එක්සත් රාජධානිය තුළත් පළිබෝද කළමනාරණ ව්‍යාපාරයක් ඇරඹීම Exterminators PLC හි අදහස වී තිබේ.

එසේම නැගීඑන සහ සංවර්ධිත වෙළෙඳ පොළ වෙත අවශ්‍ය නවීනතම පළිබෝධ කළමනාකරණ සහ පරිසර තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ තාක්ෂණික නිෂ්පාදන ව්‍යාපාර සිට ව්‍යාපාර ගනුදෙනුකරුවන් දක්වා වන ලෙස අපනයනය කිරීමත් මෙම සමාගම හරහා සිදු කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී ඉහත සඳහන් කළ Sentario UK Limited සමාගම ඉ-වානිජ වෙබ් අඩවියක් ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත්, ඒ හරහා එක්සත් රාජධානියේ, නැගෙනහිර යුරෝපයේ සිල්ලර වෙළෙඳ පොළ සහ තවත් නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳ පොළ ඉලක්ක කරගන්නා බවත් පැවසයි.

1st Floor Building 2, Croxley Business Park, Watford යන ලිපිනයෙහි පිහිටා ඇති Sentario UK Limited සමාගම එරට තුළ ලියාපදිංචි කර ඇත්තේ මේ වසරේ අප්‍රේල් 14 වැනිදාය. එම සමාගමෙහි එක් අධ්‍යක්ෂවරයෙකු ලෙස ඩෙන්හැම් මාර්ලන් ෆෙරෙයිරා මහතා නම් කෙරී තිබේ. ඔහු එම සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වෙයි.

Visits: 123