2023 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මිලියන 814.1ක් දක්වා 16.51%කින් පහළට

2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 ක් ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මෙය 2022 අප්‍රේල් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 970.9 හා සැසඳීමේදී 16.15% ක අඩුවීමකි. එසේම එය 2021 අප්‍රේල් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 818.2 ට සාපේක්ෂව 0.5% ක අඩුවීමකි.

වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළ තුළ ප්‍රධාන අපනයන නිෂ්පාදන සඳහා නිර්මාණය වූ අඩු ඉල්ලුම තවදුරටත් පැවතීම මෙම අපනයන ආදායම් අඩුවීමට හේතුවක් වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩල පෙන්වාදෙයි.

කෙසේවෙතත් 2023 අප්‍රේල් මාසයේ අපනයන කාර්යසාධනය තුළදී ධනාත්මක වර්ධනයක් සහිත නිෂ්පාදන සහ සේවා කිහිපයක් හඳුනාගැනීමක්සිදුවුණු බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 12%ක් වූ තේ අපනයන ඉපැයීම් 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී 16.1%සිට ඇමරිකානු ඩොලර් මිලියන 93.39ක් දක්වා වැඩි විය. එසේම තේ පැකට් අපනයනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 47.82 දක්වා 29.1% කින් වැඩි විය.

මීට අමතරව, පරිවාරක වයර් (30.43%) සහ අනෙකුත් විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන (18.74%) අපනයනවල ශක්තිමත් කාර්ය සාධනයක් සමඟින් 2023 අප්‍රේල් මාසයේදී විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංගවලින් අපනයන ආදායම 16.14 % ඇමෙරිකානු ඩොලර් මිලියන 40.01 දක්වා වැඩිවී තිබේ.

මුහුදු ආහාර අපනයන ආදායම 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 24.76 දක්වා 17.1% කින් වැඩි විය. ශීත කළ මාළු (21.04%), නැවුම් මාළු (47.9%) සහ ඉස්සන් (0.34%) අපනයනයේ ශක්තිමත් කාර්ය සාධනය මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

තවද, විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.12 දක්වා 105.83% කින් වැඩි විය.

කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන අංශයේ අඩුවීමක් වාර්තා වුවද, 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී කුරුඳු අපනයන ආදායම 8.41% කින් වැඩි විය.

2022 අපේ‍්‍රල් මාසයට සාපේක්ෂව 2023 අපේ‍්‍රල් මාසයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අපනයන වටිනාකම 34.95% කින් ඇමරිකානු ඩොලර් මිලියන 529 දක්වා වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත.

මීට අමතරව, 2022 අප්‍රේල් හා සසඳන විට 2023 අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් සහ මූල්‍ය සේවා අපනයනවල වටිනාකම පිළිවෙළින් 15.71% සහ 3.75% කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇත.

එසේම 2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 723.68 ක් වූ අතර එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 9.56% කින් වැඩිවීමකි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් ඇස්තමේන්තු කර ඇති මෙම සේවා අපනයන ආදායම් ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් වලින් සමන්විත වේ.

Visits: 86