සමූපකාර රක්ෂණ සමාගමට පනවා තිබූ තහනම ඉවත් කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සමූපකාර රක්ෂණ සමාගම (Co-operative Insurance Company PLC) සමාගම වෙත ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) මගින් පැනවූ තහනම ඉවත් කර ඇතැයි එම සමාගම පවසයි.

ඒ අනුව අද (මැයි 26) දිනයේ සිට බලාත්මක වන පරිදි මෙම තහනම ඉවත් කිරීම සිදුව ඇතැයි සමූපකාර රක්ෂණ සමාගම පවසයි.

පසුගිය අප්‍රේල් 11 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් මෙලෙස සමූපකාර රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවමින් තහනමක් පැනවීය. පසුව යළිත් අප්‍රේල් 28 වැනිදා සහ මැයි 12 වැනිදාද එම කොමිෂන් සභාව මගින් මේ සම්බන්ධයෙන් ලිපි නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් ඊයේ (මැයි 25දා) රැස් වුණු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ 233 වැනි කමිටු හමුවේදී එම තහනම ඉවත් කිරීමට තීරණය කෙරී ඇතැයි එම සමාගම පවසයි.

“මෙම තහනම ලිහිල් කිරීමත් සමගින්ම අපි අපගේ ව්‍යාපාරික කටයුතු ඉක්මණින්ම නැවත ආරම්භ කිරීමින් ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරනවා. ඒ වගේම අපගේ සියලුම මෙහෙයුම් යළිත් සාමාන්‍ය අතට පත්වන බවට අපගේ සියලුම හවුල්කරුවන් වෙත අපි විශ්වාසයෙන් පවසනවා.” යනුවෙන් සමූපකාර රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී උදය කුමාර මහතා අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී සිටියි.

එසේම ඉදිරියේදී මෙවැනි සිදු වීම් ඇති නොවීම සඳහා සමූපකාර රක්ෂණ සමාගමේ කළමනාකාරීත්වය කටයුතු කරන බවට සියලුම හවුල්කරුවන් වෙත සහතික වන බවත් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

සමූපාකාර රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සංයුතිය සිය නියාමන රෙගුලාසිවලට අනුකූලට පවත්වාගෙන යාමට අපොහොසත්වීම හේතුවෙන් එම කොමිෂන් සභාව මගින් මෙම තහනම පනවා තිබුණි.

මේ අතර පසුගිය මැයි 12 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලිපියක් මගින් දැනුම් දෙමින් සමූපාකාර රක්ෂණ සමාගම වෙත පැනවූ මෙම තහනම ලබන ජූනි 30 දක්වා දික් කරන බව පවසා තිබුණි.

Visits: 71